සමාජ ක්‍රියාකාරී ධානිෂ් අලී යළි රිමාන්ඩ්

0
11

උද්ඝෝෂණකරුවන් පිරිසක් විසින් ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී සේවකයන් බියගන්වා රාජකාරී කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිෂ් අලී යන අය ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01දා) නියෝග කළේය.

එදින ඔහුට ඇප ලබා දීම සම්බන්ධයෙන් වන නියෝගයද ලබා දෙන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයන් සිදු කරන බවත් විශාල පිරිසක් එදින රූපවාහිනි පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ලෝකයාටම පෙනී යන ලෙස බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව මහෙස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී පැවැසීය.

පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට තරම් වරදවල් තම සේවාදායකයා වෙතින් අනාවරණය නොවන බවට ප්‍රකාශ කළ නීතිඥවරයා, තම සේවාදායකයා ඇතුළු පිරිස රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු නොවූ බවත් අධිකරණය හමුවේ පැවැසීය.

මෙම සියලු කරුණු සලකා බලමින් තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වන බවට ප්‍රකාශ කළ කුරුඳුවත්ත පොලිසිය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හංසි නානායක්කාර