ශෝක් එකට ලෝකෙ දකින්න පෝඩ්කාස්ට් එකකුත් ඇති

0
62

කියැවීමෙන් මිනිස්සු සම්පූර්ණ වෙනවා කියන එක පිළිගන්න පුළුවන්. සම්පූර්ණ වෙනවා විතරක් නෙමෙයි කියැවීමෙන් මිනිස්සු ජීවිතාවබෝධය ලබාගන්නවා. නිවන් දකින්න තමන්ටම ආවේණික මාර්ග එළිපෙහෙළි කරගන්නවා. ස්වර්ගයට යන්න මාර්ග නිර්මාණය කර ගන්නවා. කියැවීම මිනිසාව වඩා නිවැරදි උසස් දිශාවන්ට මෙහෙයවනවා, ශේ‍ර්ෂ්ඨත්වයට පත්වෙන්න මහා වෘක්ෂයක් වගේ පිටදෙනවා.

නමුත් කියැවීමෙන් විතරක් මිනිස්සු පරිපූර්ණ වෙනවා, කියැවීමෙන් විතරක් මිනිස්සු  ජීවිතාබෝධය ලබාගන්නවා, කියැවීමෙන් විතරක් මිනිස්සු නිවන් මාර්ග එළිපෙහෙළි කරගන්නවා. කියැවීම විතරක් මිනිසාව උසස් දිශාවන්ට මෙහෙයවනවා, කියැවීම  විතරක් මිනිසාගේ ශේ්‍ර්ෂ්ඨත්වය උදෙසා දිරිදෙනවා කිව්වොත් එතන ලොකු අවුලක් තියෙනවා.

හැම මිනිහෙක්ටම ජීවිතය අවබෝධාත්මකව පසක් කරගන්න  තමන්ටම ආවේණික මාර්ගයක් තියෙනවා. හැම මිනිහෙක්ටම සාපේක්ෂ පරිපූර්ණත්වයක් ළඟා කරගන්න ඒ සඳහා සුදුසු එකිනෙකාගෙන් වෙනස් වූ යුනික් කලාපයක් තියෙනවා. කෙනෙක් පොත් කියවලා තමන්ගේ ජීවිතාවබෝධය ලබාගනිද්දි, තවත් කෙනෙක්ට ෆිල්ම් බලලා ඒක කරගන්න පුළුවන් වෙනවා. තවත් කෙනකුට ජීවන අත්දැකීම් එකතු කරලා තමන්ගේ ගමන් මාර්ග එළිපෙහෙළි කරගන්න පුළුවන් වෙනවා. තවත් කෙනකුට උසස් යැයි සම්මත මිනිසුන් සමඟ සම්මුඛ වෙලා තමන්ගේ ජීවිතය කියවාගන්නට පුළුවන් වෙනවා. තවත් කෙනෙක් කවියෙන්, සංගීතයෙන්, ආදරයෙන්, ලිංගිකත්වයෙන් පවා තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න වෙලාවල් තියෙනවා.

එකිනෙකා තමන්ගේ නිවන හොයාගන්න, ජීවිතය අවබෝධ කරගන්න භාවිත කළ යුතු නිවැරදිම මාර්ගය මොකක්ද කියලා බොහෝ වෙලාවට තීරණය කරන්නේ ඔවුන්ගේ ආශා සහ තෘප්තීන්. මට පොත් කියවන්න කිසිම රුචිකත්වයක් නැති වෙද්දීත්, මගේ හොඳම මිත්‍රයා පොත් කියවන නිසා මමත් කියවන්න පටන් ගත්තට, මට කවදාවත් ඒ තුළින් මගේ ගමන් මාර්ගයන් එළිපෙහෙළි කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක මගේ තෘප්තීන්ට සමානුපාතික ක්‍රමවේදයක් කෙරෙහි මම අවධානය දෙනවා.

රූපවලට තදින් ආශා කරන සමහර සිනමැටික් මිනිස්සු ජීවිතයේ සෑම සංසිද්ධියකටම ප්‍රතිචාර දක්වද්දි ඔවුන් නරඹපු චිත්‍රපටයක මෙමරියක් පාදක කරගන්නවා. පිටු පෙරළන්න අසීමිත පෙරේතකමක් තියෙන සමහර මිනිස්සු ඔවුන් එකිනෙකා හා සංවාද කරන සෑම අවස්ථාවකම  පොතකින් කොටසක් සංවාදයට එකතු කරගන්නවා. හෙඩ් සෙට් එක කොයි වෙලාවෙත් කනේ ගහගත්තු සමහරක් පුද්ගලයෝ ජීවිතය සංගීතයෙන්ම කියවාගන්නවා. ඔය සියල්ල අතරේ ඉපැරණි ජීවන අත්දැකීම්, සමහර පරණ ඩයරි පෙරළ පෙරළා හොයමින් ජීවිතයේ සමහර සංසිද්ධීන්ට ප්‍රතිචාර දක්වන මිනිස්සුත් ඉන්නවා.

එකම අරමුණක් වෙනුවෙන් අපි එකිනෙකට සමාන්තර එහෙත් විවිධත්වයක් සහිත ක්‍රමෝපායන් අත්හදා බලමින් ඉන්නවා. එකම කාර්යයක් වෙනුවෙන් අපටම ආවේණික වෙනස් වූ ගමන් මාර්ගවල ගමන් කරනවා. කියැවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක පරම සත්‍යයක් වුණත් ඒක සීමා සහිත, අප්ඩේට් නැති කතාවක් කියන එක මම දැඩිව විශ්වාස කරනවා. මොකද පොත් නොකියෙව්වට යූ – ටියුබ් වීඩියෝවක් නරඹලා, පෝඩ්කාස්ට් එකකට සවන් දීලා වුණත් සමහර මිනිස්සු සම්පූර්ණ වුණු වෙලාවල්, ජීවිතය හොඳින් කියවාගත්තු වෙලාවල් මට හමුවෙලා තියෙනවා. එහෙම බැලුවම කියැවීම් විතරක් නෙමෙයි නැරඹීම්, සවන්දීම්, හමුවීම්, වෙන්වීම් යන සියලු වර්ගයේ ජීවන අත්දැකීම් අපිව පරිපූර්ණත්වය දෙසට ඩ්‍රයිව් කරනවා.