ශ්‍රී ලංකා-මාලදිවයින් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි

0
9

අවුරුදු 20න් පහළ සාෆ් (SAFF) පාපන්දු ශුරතා තරගාවලියේ මූලික වටයේ මාලදිවයින් කණ්ඩායම සමඟ පැවැති අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට හැකිවිය.

ඒ අනුව ආරම්භයේ පටන්ම දෙපිළම දියත් කළ තියුණු සටන හමුවේ පළමු විනාඩි 60 ඇතුළත කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට දෙපිලටම හැකියාව නොලැබීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය. එහිදී අවස්ථා කිහිපයකදීම දෙපිලේම ක්‍රීඩකයින් ප්‍රතිවාදී දැල ආක්‍රමණය කිරීමට ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යාර්ත කිරීමට ගෝල රකින්නන්ට හැකියාව ලැබිණි.

කෙසේ වෙතත්  ශ්‍රී  ලංකාවෙන් විද්‍යාමාන වූ දුර්වල ආරක්ෂණ උපාය හමුවේ ක්‍රියාත්මක වූ මාලදිවයින් කණ්ඩායමේ අයිහාම් හම්දූන් තරගයේ 74 වැනි විනාඩියේදී මාලදිවයින වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කර ගත්තේය. ඉන් අනතුරුව ලබා දුන් අතිරේක කාලයේදී ශ්‍රී  ලංකාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ තේෂාන් තුෂ්මික මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට අවස්ථාව සලසා දුන්නේය.

කෙසේ වුවත් සහභාගි වූ තරග 4න් 3ක් පරාජයට පත්ව එක් තරගයක් පමණක් ජය පරාජයෙන් තොරව නිමා කරගැනීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.