වැඩි දැනුමට වැට බැඳීම

0
100

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය වෙත ලිපියක් යොමු කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ විදේශීය පුහුණුව නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙරට වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය සුරක්‍ෂිත කිරීම සඳහා විදේශීය පුහුණුව අත්‍යවශ්‍ය සාධකයක්ව ඇති බවත් ඒ සඳහා බාධා ඇති කිරීමෙන් විවිධ ප්‍රදේශවල පවතින විශේෂඥ වෛද්‍ය ඒකක කෙරෙහි දැඩි බලපෑම් ඇති විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ මෙරට වෛද්‍යවරුන්ට විදේශීය පුහුණුව සඳහා ඉඩකඩ අවුරාලීමෙන් මේ රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියට බරපතළ තර්ජනයක් එල්ල වන බවය. අප රටේ විශේෂඥ වෛද්‍යවරයා කෙරෙහි පවත්නා ජාත්‍යන්තර පිළිගැනීමට මේ තත්ත්වය ඍජුවම බලපාන්නට ඉඩ ඇති බවද වෛද්‍ය අලුත්ගේ පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ලිපියෙහි සඳහන් ආකාරයට විදේශ පුහුණු තහංචියට හේතු පාදක වී තිබෙන මූලික කාරණය වන්නේ අවශ්‍ය මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාවයි. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රකාශ කොට තිබුණේ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල් කිසි සේත්ම කප්පාදු නොකරන බවය. විය යුත්තේද එයයි. වික්‍රමසිංහ ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව ඔහුගේ විශිෂ්ට පූර්ව ප්‍රතිපත්ති වෙනස් වන්නට හේතුවක් නැත. අසේල ගුණවර්ධනගේ ලිපියෙහි ඇතුළත් තහංචිය ප්‍රශ්නකාරී වන්නේ ඒ අනුවය.

මේ දිනවල අප රටට බරපතළ විදේශ විනිමය හිඟයකට මුහුණ දෙන්නට සිදුවී තිබෙන බව ඇත්තය. ඉන්ධන අර්බුදය හා ගෑස් අර්බුදය පැනනඟින්නේද ඒ අනුවය. බඩු මිල ඉහළ යෑම කෙරෙහිද ඉන්ධන ගැටලුව වක්‍රව බලපාන බව පෙනෙයි. එහෙත් රටේ පවත්නා අර්බුදවලට විසඳුම් සොයනු වෙනුවට අත්‍යවශ්‍ය වූ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අර්බුදයට ලක්වන ආකාරයට පියවර ගැනීම කොතරම් අමනෝඥද?

වෛද්‍ය වෘත්තිකයා අප රටට දේවාශීර්වාදයකි. කොවිඩ් වසංගත සමයෙහි ඔහුගේ අගය තවදුරටත් පැහැදිලිව දැනෙන්නට ඇඟවෙන්නට කරුණු යෙදී තිබිණි. රෝගාතුර වූ පුරවැසියනට වෛද්‍යවරුන් පෙනුණේ දෙවිවරුන් සේය. අවසන් තත්පරය දක්වාම ජීවිතයක් බේරා ගන්නට ඔවුන් දරන උත්සාහය, කරන කැපවීම සැබවින්ම අගය කළ යුතුමය. වෛද්‍ය වෘත්තියේ ගුණාත්මකභාවය සඳහා මුදල් වැය කිරීම යනු රටේ සංවර්ධනය සඳහා දරන මහඟු මෙහෙවරකියි සඳහන් කිරීම වරදක් විය නොහැකිය.

ඇමෙරිකන් මිෂනාරීහු 1823දී විදේශගතව වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා මෙරට සිසුන් සූදානම් කරවන පාසලක් ආරම්භ කළහ. ඒ අප රටේ බටහිර වෛද්‍ය විද්‍යාව ව්‍යාප්ත කරලීමෙහි පළමු පියවරය. එහෙත් එයින් අවුරුදු 47ක් ගත වන තුරුම මේ රටේ බටහිර වෛද්‍ය විද්‍යාව ව්‍යාප්ත කරලීමෙහි නිසි ක්‍රමවේදයක් නොවීය. 1870 දී ලංකා වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමෙන් මේ රටේ ජනතාවට වෛද්‍ය අධ්‍යාපනය සඳහා යම් ඉඩ ප්‍රස්තාවක් සැලසෙයි.

1901 වර්ෂය වන විට මේ රටේ වෛද්‍ය වෘත්තිකයන් 323ක් සිටි බව සඳහන්ය. වර්තමානය වන විට මෙරට විශ්වවිද්‍යාල කිහිපයකින්ම වෛද්‍ය උපාධිධරයෝ බිහිවෙති. පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල බිහිවීම පිළිබඳ ගැටලුවද පසුගිය කාලයේ බරපතළ සංවාදයකට ලක්වෙමින් තිබිණි. කොතලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨය හා සම්බන්ධවද පසුගිය කාලයේ ගැටලු රැසක් මතුවිය. රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයන් බිහිකරලීම සඳහා වැයවන මහජන මුදල් නිරර්ථක ආයෝජනයක් නොවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශ පුහුණුවට බාධා ඇති කරලීමෙන් අප අපටම කරගන්නා හානිය සුළුපටු නොවන බව බලධරයන් වටහාගත යුතුමය.

ඔමිකේ‍රා්න් ඕ.ඒ. 5 අනුප්‍රභේදය පිළිබඳව මේ දිනවල කතාබස් කෙරේ. මේ රටින් ප්‍රථම වතාවට මෙකී ආසාදිතයන් හමුවී ඇති බවද කියයි. හතරවැනි එන්නත් මාත්‍රාව ලබාගත යුතු බවට වෛදේ‍යා්පදේශද ලැබෙයි. ඉදිරි කාලය තුළ මෙරට ජනතාවට කෙබඳු ආකාරයේ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවේ දැයි මේ මොහොතේ අනාවැකි කියන්නට පුළුවන්කමක් නැත. මෙබඳු අවිනිශ්චිත සමාජ වාතාවරණයක් තුළ විශේෂඥ වෛද්‍ය සේවය කොතරම් අගනේද? විදේශ අත්දැකීම් හා විදේශ පුහුණුව කොතරම් ප්‍රයෝජනවත්ද?

විශේෂ වෛද්‍ය පුහුණුව සඳහා සම්බාධක පැනවීමට මූලික හේතුව ඩොලර් හිඟය නම් සැබැවින්ම එය ඛේදජනකය. රට තුළ බරපතළ ඩොලර් හිඟයක් උද්ගතව තිබියදී අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම රට සවාරිවල යෙදී සිටිනු පෙනිණි. ඒ ගියේ අහවල්

වැඩේටය කියා උත්තර බඳින්නට හැකියාව තිබුණත් අහවල් වැඩෙන් මේ රටට සිදුවුණු සෙතක් නැත. කළ යුතු බොහෝ දේ තිබියදී මේ රටේ ධන සම්පත් නැති නාස්ති කරන්නේ නොකළ යුතු දේටය.

විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබාදීම කළ යුතුම දෙයකි. විශේෂඥ දැනුම විදේශයකදී ලැබිය යුතුම නම් එය කෙසේ හෝ ලබා ගන්නට පහසුකම් සැලසිය  යුතුමය. රටේ අගහිඟකම් ගැන කිය කියා කළ යුතු වැදගත්ම දේ මඟ හැර යෑම නොකළ යුතුමය. දැනුම බුද්ධිය උපයා සපයා ගැනීමට කළ යුතු වැය සම්බන්ධව දෙවරක් සිතිය යුතු නැත. රට වැටුණු වළෙන් ගොඩ ගන්නට විශේෂඥයන්ගේ මෙහෙවර අත්‍යවශ්‍යය.