‘රෙජිම් චේන්ජ්’ එකට සහාය දුන් නීතිඥ සංගමය පිටුපස ඉන්නේ අමෙරිකානු ඔත්තු සේවා

0
51

ඔබ පසුගියදා පාර්ලිමේන්තුවේදී CIA සංවිධානය, USAID සංවිධානය සහ NED නම් වූ තවත් සංවිධානයක් පිළිබඳ බරපතළ ප්‍රකාශයක් කළා. නමුත් එය ඉතාම කෙටි හෙළිදරව්වක්. අපට මේ සංවිධාන සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් කළ හැකිද?

USAID සංවිධානය 1961දී පිහිටුවන්නේම එක්සත් ජනපදයේ වුවමනාවන් සඳහා සිවිල් ක්‍රියාකාරකම්, ආර්ථික ආධාර සහ මානුෂීය ආධාර මඟින් දුප්පත් රටවල පුරවැසියන්ගේ ‘හදවත් සහ මනස්’ දිනාගැනීම යන මුඛ්‍යය පරමාර්ථය ඇතුවයි. මේ සටන් පාඨයට මුවාවෙමින් CIA සංවිධානයේ උපක්‍රම සාර්ථක කරදීමට USAID සංවිධානය ආසියානු, අප්‍රිකානු, ලතින් අමෙරිකානු රටවල ප්‍රගතිශීලී ආණ්ඩු වැට්ටවීමටත් එම රටවල ජන මනස විකෘති කිරීමටත් ඔවුන් කළ මෙහෙය සුළු පටු නැහැ. 

කෙසේවුවත් USAIDහි සැබෑ මුහුණුවර ලෝකයට නිරාවරණය වන්නට පටන් ගැනීමත් සමඟම ඔවුන් 1983 වර්ෂයේදී පමණ NED හෙවත් (National Endowment for Democracy – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය) නමින් අලුත් සංවිධානයක් CIAහි පරිවාර සංවිධානයක් ලෙස ගොඩනඟනවා. NED සංවිධානය ලෝකය පුරා රටවල් 100ක ව්‍යාපෘති 2000ක් පවත්වාගෙන යන බව මේ වනවිට හෙළිවෙලා තියෙනවා. එම ව්‍යාපෘති එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ නාමයෙනුයි ක්‍රියාත්මක වන්නේ. නමුත් ඔවුන් එම රටවල ‘රෙජිම් චේන්ජ්’ හෙවත් ආණ්ඩු පෙරළීම සහ එම රටවල් දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ වුවමනාවෙන් රාජ්‍යය නොවන සංවිධානවලට අරමුදල් සපයා ඇති බව තහවුරු වී තිබෙනවා.

නමුත් ඔබ USAID ආයතනය සහ NED සංවිධානය ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත අරමුදල් සපයා ඇති බව පාර්ලිමේන්තුවේදී පැවැසුවා. ඒ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කිරීමක් කළ හැකිද? 

නීතිඥ සංගමය සහ USAID ආයතනය අතර තිබෙන සම්බන්ධතාව මුලින්ම එළිදරව් වන්නේ 2014 වර්ෂයේදී මුල් භාගයේදීයි. 2014 මාර්තු මාසයේදී USAID CSI. ROL (USAID Civil Society Initiatives to Promote the Rule of Law) හෙවත් නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුලපිරීම් වැඩසටහන ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති ආධාර කොමිසම, ප්‍රාදේශීය නීතිඥ සංගම්, ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන සහ පර්යේෂණ ආයතන, සිවිල් සංවිධාන ආදිය මෙම ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ කළ බව ඔවුන්ගේ වාර්තා පරිශීලනයෙන් හෙළිදරව් වෙනවා. USAID ආයතනය මඟින් තෝරාගත් කණ්ඩායමක් ශ්‍රී ලංකා නීතිඥයන්ගේ සංගමයේ කාර්යාල සංකීර්ණය තුළ ස්ථාපිත කරනු ලැබ ඇති බවත් පුවත් වාර්තා හෙළිදරව් කර සිටියා. USAID CSI. ROL ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සංවිධාන යොදා ගැනීම සඳහා 2013-2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කර ඇති බව ඔවුන්ගේ වාර්තාවල දැක්වෙනවා.

2014 අප්‍රේල් සහ ජුනි අතර කාලය තුළ NED සංවිධානය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ ශ්‍රී ලංකා නීතිඥයන්ගේ පළාත්බද සංවිධානයන්හි සහයෝගිතා මධ්‍යස්ථානය වෙත අරමුදල් සම්පාදනය කර තිබෙනවා.

USAID සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබෙන අවබෝධය කෙතරම්ද පවසනවා නම් 2014 පෙබරවාරි මාසයේදී රජයේ නීතිඥ සංගමය කොළඹ විශ්වවිද්‍යාලයේදී නීතිඥයන්ට එම්.ඒ. උපාධිය හැදෑරීම සඳහා ඉදිරිපත් කළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ශිෂ්‍යත්ව 20ක්ම ලබාදුන්නේ USAID ආයතනය මඟිනුයි.

ඔබ ඉදිරිපත් කරන සමහර කරුණුවලින් අපට හැඟෙන්නේ USAID CSI. ROL ව්‍යාපෘතිය මඟින් යහපත් දේ සිදුවී තිබෙන බවයි?

බැලූ බැල්මට එහෙම පෙනුණට එහි ගැඹුර ඊට වඩා බරපතළයි. 2007 වර්ෂයේදී USAID ආයතනය ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සිවිල් සංවිධාන, රාජ්‍යය නොවන සංවිධාන පෞද්ගලික ව්‍යාපාර සහ සිවිල් පුද්ගලයන් ඒකාරාශී කරගනිමින් දූෂණයට එරෙහි දැවැන්ත ව්‍යාපෘතියකට මුලපුරමින් අරමුදල් සැපැයුවා. එහෙත් 2022දීත් දූෂණය එලෙසම පැවතුණු අතර ඔවුන්ගේ අරමුණ වූයේ ඔවුන් සමඟ මූලිකව සම්බන්ධව සිටින සංවිධාන සහ පුද්ගලයන් එකට එකතු කිරීම සහ තොරතුරු ඉක්මනින් ලබාගැනීමට වටපිටාව සකසා ගැනීමයි.

අපට දැනට තිබෙන ලිඛිත තොරතුරුවලට අනුව 2021දී උඉඒධ්ච් NED ආයතනය හරහා ශ්‍රී ලංකාවේදී වැය කර තිබෙන්නේ ඩොලර් 1,046,156ක් පමණයි. ඒ වාගේම 2016 සිට 2020 දක්වා NED ආයතනය හරහා වැයකර තිබෙන්නේ ඩොලර් 9,123,573ක් පමණයි. හැබැයි ඔවුන් 2022දී ඔවුනට අවශ්‍ය රෙජීම් චේන්ජ් එක කරගන්නවා. 69 ලක්ෂයක ජනවරම අඩපණ කරනවා. ලිබියාවේදී ඔවුන් මෙවැන්නක් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් වැය කර තිබෙනවා. ඉරාකයේදී යුද්ධ වටයක් නිර්මාණය කරලයි සදාම් හුසේන් පලවා හැරියේ. යුක්රේනයේදී නව නාසිවරු ස්ථාපනය කරලීමට ඩොලර් බිලියන 5ක් වැයකර තිබෙනවා. එහෙම බලපුවහම අඩුම ආයෝජනයකින් නීතිඥ සංගමය හරහා අමෙරිකානු වුවමනාව ඉටුකර ගෙන තිබෙනවා. මෙම මුදල අමෙරිකානු ආර්ථිකයේ සුබසාධන ක්ෂේත්‍රයට වෙන්කරන මුදල හා සැසඳූවිටත් ඉන් කුඩා ප්‍රතිශතයක්.

ඔබ USAID, NED සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අන්තර් සම්බන්ධය හෙළිදරව් කරනවා. ඒ අතර ඔබ රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳවත් අදහස් දක්වනවා. NEDය මුදල් ආධාර සපයා ඇති රාජ්‍යය නොවන සංවිධාන මොනවාද? ඒවායේ ක්‍රියාකාරකම් මොනවාද?

2021 වර්ෂයේදී පමණක් NED ආයතනය රාජ්‍ය නොවන සංවිධාන 15ක ව්‍යාපෘති 15ක් වෙනුවෙන් ඩොලර් 1,046,156ක් ඔවුන් වැය කරනවා. මෙයින් ඩොලර් 3,25,000ක් NED ආයතනයේ ප්‍රධාන අරමුදල් දායකයන් හතර දෙනකුගෙන් එක් ආයතනයක් වන NDI (National Democratic Institute) හෙවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයට ආපසු ලබාදෙනවා. එම මුදල ඔවුන් 2021 වර්ෂයට ඉදිරිපත් කරන බිම්මට්ටමේ තරුණ නායකත්ව පුහුණුව සහ සිවිල් සමාජය තුළින් දේශපාලන මැදිහත්වීම යන වැඩසටහන් සඳහා වෙන්කර තිබෙනවා. මේවා බැලූබැල්මට ඉතාම අහිංසක ක්‍රියාකාරකම්. තවත් ජාත්‍යන්තර රාජ්‍යය නොවන සංවිධානයක් වන International working group on Sri Lanka ltd නම් ආයතනයට ඩොලර් 14,460ක් ලබාදෙනවා. මෙම සංවිධාන අමෙරිකාව පදනම් වූ ආයතන.

ඒ අනුව වෙන් කරන අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් ඔවුන් ආපසු අමෙරිකාවටම රැගෙන යනවා. අනෙකුත් රාජ්‍යය නොවන සංවිධාන අතර අප දන්නා ප්‍රසිද්ධ රාජ්‍යය නොවන සංවිධාන තිබෙනවා. ඉතිරි රාජ්‍යය නොවන සංවිධානවලින් සැලකිය යුතු ගණනක් උතුරු පළාත, නැඟෙනහිර පළාත, උෟව පළාත සහ වයඹ පළාත ආදිය පදනම්ව ක්‍රියාත්මක වෙන රාජ්‍යය නොවන සංවිධාන. මේවාට ලබාදී තිබූ ඩොලර් අරමුදල් ලබාදී ඇත්තේ යහපත් රාජ්‍යය පාලනය සහ රාජ්‍යය පාරදෘශ්‍යතාව, දේශපාලන, ආගමික සහ සංස්කෘතික සහයෝගිතාව සඳහා සිවිල් සමාජය බලගැන්වීම ආදී මාතෘකා ඔස්සේ වැඩමුළු, දේශන, ක්‍රියාකාරකම් ආදී වූ කටයුතු වෙනුවෙන්. මේ සියලුදෙනාම දේශපාලනඥයන්ගේ ආදායම් ඉපැයීම් ගැන කතා කරනවා. නමුත් ඔවුන්ට අරමුදල් ලැබෙන විධිය හෝ ඒවා වැය කළ ආකාරය පිළිබඳව සමාජයට වගවීමක් නැහැ.

ඔබගේ විග්‍රහය තුළ ගෝඨාභය රාජපක්ෂ සහ අනෙකුත් රාජපක්ෂවරු ඉතාමත් අහිංසක පිරිසක් බවට උත්හර්ෂයට නංවන ගමන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු සාමාජිකයන් ගෝනි බිල්ලන්ට අන්දවන්නට කටයුතු කරන බවක් පෙනෙනවා?

ඔබගේ විග්‍රහය සම්පූර්ණයෙන් වැරැදියි. රාජපක්ෂවරුන්ගේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපයන් අප ඇති තරම් රටට හෙළිදරව් කර තිබෙනවා. ඔහු මේ විනාශයට වගකිවයුතු පියවරුන්ගෙන් ප්‍රධානියෙක්.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග රැසක් මධ්‍යයේ වුවද මේ රටට සේවය කිරීමේ සැබෑ චේතනාවක් තිබුණා. ඔහු දිවා රෑ නොබලා වැඩ කළා. මධ්‍යම රාත්‍රිය වනතුරුම ඔහු තම කාර්යාලයේ වතුර වීදුරුවක් තබාගෙන වැඩ කළ අවස්ථා ගැන අපි අසා තියෙනවා. ඔහු ලාභ ජනප්‍රියත්වය වෙනුවෙන් පෙනීසිටියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ යනු තම විධායක බලය අඩුවෙන්ම භාවිත කළ ජනාධිපතිවරයායි. එලෙසම අනෙක් ජනාධිපතිවරුන්ට සාපේක්ෂව ඔහු ඉතාම අඩුවෙන් තම පෞද්ගලික වුවමනා වෙනුවෙන් රාජ්‍යය අරමුදල් භාවිත කළ ජනාධිපතිවරයායි.

 එහෙත් ඔහු තේරූ වැඩ රටාව විසින් ඔහුගේ බරපතළ කැපවීම විහිළුවක් වුණා. ‘මේ වගේ කෙනෙක් නායකයෙක් වෙන්න පුළුවන්ද?’ ඔහු වටා සිටි බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්න පටන් ගත්තා. ඔහු රාජ්‍යය විචාලීමේදී අසීමිතව ‘රාජපක්ෂ පවුල’ කේන්ද්‍ර කරගනිමින් තීන්දු තීරණ ගත්තා. ඔහු, ඔහුව බලයට පත් කිරීමට කටයුතු කළ ජාතික බලවේගවලට පිටුපස හැරවූවා. එපමණක් නොවෙයි ඔහුගේ පරාජය වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළ දුෂ්ට බලවේග කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. එම බලවේග මත යැපෙන තත්ත්වයට පත්වූවා. එම බලවේග ඔහුගේ ස්වභාවය තේරුම්ගෙන ඔහුගෙන් උපරිම ලාභ ප්‍රයෝජන ගත්තා.

එම බලවේග ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බලවේගවලට ඇඳිවත උස්සා පෙන්වන අයුරින් කටයුතු කළා. කාබනික ගොවිතැන වැනි මුළු මහත් කෘෂිකර්මාන්තයටම බලපාන තීන්දු තීරණ එක රැයකින් ගනු ලැබුවා. එයින් ඇති කළ පීඩනය වැඩිපුරම දැනුණේ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ග්‍රාමීය ගොවියාටයි. එපමණක් නොවෙයි ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ගත් කාබනික ගොවිතැන් තීන්දුව නිසා අනාගතයේදී කිසිදු නායකයකුට කාබනික ගොවිතැන සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයට පත් කළා. අවසානයේදී ඔහු දැවැන්ත විනාශයක් ඔහුටත් රටටත් අත්පත්කරදී රටින් පිටව ගියා.

නීතිඥ සංගමය සම්බන්ධව කිවහොත් එහි වත්මන් පාලන බලය හොබවන කණ්ඩායම අමෙරිකානු වුවමනාව වෙනුවෙන් පෙනී සිටින බව ඉහත මා පෙන්වාදුන් කාරණාවලින් පැහැදිලියි. එම කණ්ඩායමට හැකිවුණා විවිධ තලවල සිටින නීතිඥයන් රාජ්‍යය විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළුණු අය උසාවි ගෙන එන විට අත්පුඩි ගසන තත්ත්වයට පත්කිරීමට. සමහර ජේ‍යෂ්ඨ නීතිඥයන්ගේ විග්‍රහයන්ට අනුව නීතිඥයන්ගේ එම හැසිරීම් උසාවියට කරනු ලැබූ බලපෑමක්. ජූලි 09 වැනිදා අධිආරක්ෂිත කලාපවලට ඇතුළුවීම වළක්වාලීමට පොලිසිය උසාවි නියෝග ගැනීමට ගත් උත්සාහය වළකාලීමටත් නීතිඥ සංගමය ඍජු දායකත්වයක් දැක්වූවා.

ඒ අනුව රට තුළ අරාජිකත්වයක් ගොඩනැඟීමට වත්මන් නීතිඥ සංගමය ඍජුව දායක වී තිබෙනවා යන්නයි මගේ හැඟීම. නමුත් සමස්ත ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවම නීතිඥ සංගමයේ වත්මන් පරිපාලන වගකීම් දරන අය මෙන් නොවන බවයි මගේ අදහස. ඔවුන් දන්නවා මවුබිමේ උස් නිදහසේ වටිනාකම. මෙතෙක් නීතිඥ සංගමය තුළ තිබුණේ අමෙරිකානු ගැති නීතිඥයන්ගේ බලකේන්ද්‍රයක්. එම තත්ත්වය මවුබිමේ සුජාත නීතිඥවරු ඉක්මනින් වෙනස් කරාවි.”

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය