රැකියා සොයා රට පනින්න ගිය 47ක් අත්අඩංගුවට

0
27

නීති විරෝධී ලෙස ට්‍රෝලර් යාත්‍රාවක් මඟින් රටින් පැනීම සඳහා ප්‍රවාහනයට සූදානමින් සිටි පිරිසක් දුම්මලදෙණිය ප්‍රදේශයේදී ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත, යාපනය, මඩකළපුව, මුන්දලම, වැල්ලවත්ත, වවුනියාව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18-50 අතර වයසේ පුද්ගලයන් 47 දෙනෙකි.

මේ අතර පිරිමි පුද්ගලයන් 38 සහ ගැහැනු පුද්ගලයන් 9ක් සිටි බව ප්‍රකාශ කරන පොලිසිය මෙම පිරිස ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය යන රටවල රැකියාවල් සඳහා යොදවන බවත් එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ හයහමාර බැගින් අය කර ගෙන ඇති බවත් පොලිසිය කළ විමර්ශනවලදී තහවුරුව ඇත. රැකියා ලබාදෙන බවට පොරොන්දුවී මුදල් අය කරගෙන ඇති මෙහි ප්‍රධාන සැකකරු පැනගොස් ඇති අතර එම පුද්ගලයා ක්‍රිස්තියානි ආගමක පූජකවරයකු බවට හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයන් කොලන්ජාඩිය ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ පැන යෑමට සූදානම්ව සිට ඇති අතර පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැන යෑමට සූදානම් කර තිබූ ට්‍රෝලර් යාත්‍රාවද අතුරුදන් වී තිබේ. එම ට්‍රෝලර් යාත්‍රාව හා අතුරුදන් ප්‍රධාන සැකකරු සෙවීමටද විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණසේන, උප පොලිස් පරීක්‍ෂක අමරසිංහ, පොලිස් සැරයන් ජයසේකර යන පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

වීහේණ අනුරාධ