යළි කොවිඩ් පැතිරුණොත් මහ විනාශයක්:PHI සභාපති උපුල් රෝහණ අනතුරු අඟවයි

0
14

සමාජ ඒකරාශීවීම්වලදී දුරස්ථභාවය පවත්වා ගැනීම් සහ මුඛ ආවරණ පැලඳීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වැනි තැන්වලදී පවා තමන්ගේ සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

ඉදිරි දෙසතිය තුළ කොවිඩ් රෝගීන්ගේ බරපතළ වර්ධනය වීමක් සිදුවිය හැකි බවට උපුල් රෝහණ අනතුරු ඇඟවීය.

වාර්තා වන රෝගීන් හඳුනා ගැනීම හා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ දුෂ්කරතා හේතුවෙන් ඉදිරි දෙසතිය අතිශය කල්පනාකාරී විය යුතු යැයි ඔහු කීය.

ඉන්ධන සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රෝහල් පහසුකම්වල ගැටලු පවතින නිසාත් ඔෟෂධ හිඟය නිසාත් මේ අයුරින් කොවිඩ් රෝගීන් වර්ධනය වීම ඉතාමත් අවාසනාවන්ත තැනකට රට පත් කරනු ඇතැයිද හෙතෙම අනතුරු ඇඟවීය.

ඉන්දියාව, යුරෝපය, වියට්නාමය ආදී රටවල කොවිඩ් විශාල ලෙස පැතිරීමට හේතුවුණු ඔමිකේ‍රා්න් නව ප්‍රභේදය මෙරට තුළත් පැතිරී යන බවට අනුමාන කරන බවද ඔහු සඳහන් කළේය.

එහෙත් එම ප්‍රභේදය ලංකාව තුළද පැතිර යන බව තවමත් විද්‍යාත්මකව තහවුරු කොට නැති බවද උපුල් රෝහණ අවධාරණය කළේය.

එසේ නොමැති වුවත් මේ වන විට රෝගීන් විශාල ලෙස වැඩි වෙමින් පවතින බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් එම පිරිස රෝගීන් ලෙස තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල නොමැති බවට ඔහු චෝදනා කළේය. මේ හේතුවෙන් රෝගීන් හඳුනා ගැනීමේදී බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි හෙතෙම පැවැසීය.  

සවනි ශේශාධි