මොන්ටිසෝරි ගිහින් එද්දී මිත්තණියයි මිනිපිරියයි සැඩ පහරට බිලි

0
113

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (01දා) පස්වරුව වනවිට මිත්තණිය සහ මිනිපිරියක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයන් රැසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනට බලපෑ මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 7කට නාය යෑම් අනතුරු ඇඟවීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඊයේ කටයුතු කර තිබිණි.

නුවරඑළිය, රත්නපුර, මාතලේ, මහනුවර, කෑගල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්ට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇත.

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඉදිරි දින කිහිපයේද බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලින් දිවයිනේ නිරිතදිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කැලණි, කළු, නිල්වලා ගංගාවන්ද කෙහෙල්ගමු ඔය ඇතුළු මධ්‍ය කඳුකරයේ අතු ගංගා රාශියක්ද ඊයේ (1දා) සවස වනවිට පිටාර මට්ටමට පැමිණ තිබිණි.

වටවල නගරයේ පවුල් 30කට අයත් වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටගල, දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම පස් කඳු කඩා වැටී අවහිර වී තිබේ.

පොල්පිටියේ, හිටිගේගම, බොකරවැවිල ප්‍රදේශයේ කැලණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය 60 හැවිරිදි මිත්තණියක් හා පස් හැවිරිදි මිනිපිරියක් සැඩපහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොල්පිටිය පොලිසිය කියයි.

පෙර පාසල් ගිය මිනිපිරිය කැඳවාගෙන නිවෙසට පැමිණෙන අවස්ථාවේ ඔවුන් මෙසේ සැඩපහරට හසුව ඇති අතර, මේ වනවිට ඔවුන්ගේ මළසිරුරු සොයාගෙන ඇත.

කළු ගඟේ ජල මට්ටම වැඩිවීමෙන් රත්නපුර නගරයේ කොටසක් මේ වනවිට යටවී ඇති බවත් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර පොලිසිය අසලින් ජලයෙන් යටවී තිබේ.

ඊයේ පස්වරුව වනවිටත් ශ්‍රී පාද අඩවියට මහ වැසි ඇද හැලෙමින් පැවැති බැවින් රත්නපුර නගරය මහා ගංවතුර අවදානමක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කුරුවිට හා අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානම ප්‍රකාශයට පත් කර ඇති බැවින්, පහත්බිම්වල වෙසෙන ජනතාව ආරක්ෂිත පියවර ගත යුතු බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

නිල්වලා ගංගා ද්‍රෝණියේ පිටබැද්දර, පස්ගොඩ ඇතුළු ගම්මාන රැසක් ගංවතුර තර්ජනයට ලක්ව ඇති බැවින් නිල්වලා ගඟ දෙපස වැසියන් අවධානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

වැලිගම, කුඹල්ගම ජිනරාජ විද්‍යාලය අසල බෝගසක අත්තක් කඩා වැටීමෙන් ආසන්න නිවෙසකට හානි සිදුවී තිබේ.

කුරුණෑගල මලියදේව විදුහල ඉදිරිපිට උමං මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ අතර කොළඹ – කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය පාලන මැදිරිය පවසයි.  උඩරට දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළ වටවල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට විශාල ගලක් පෙරළීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා පැමිණි බැවින් දුම්රිය අවලංගු කළ බව පැවැසේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඊයේ (1දා) දින දහවල් 12.30ට පමණ දුම්රිය මාර්ගයට ඉහළින් තිබූ අඩි 12ක් පමණ උසකින් යුතු විශාල ගලක් පෙරළී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවැසීය.

වටවල සහ ඉහළ වටවල දුම්රිය ස්ථාන දෙක අතර 100/25 සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගයට පෙරළී ඇති ගල කඩා ඉවත් කිරීමට නොහැකි බවත් එය පුපුරුවා හැරීමට සිදුවන බවත් වටවල දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.

චාමර අමරසූරිය, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය,

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි, කහවත්ත – එල්.නිරෝෂණ, කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක