මේ ආණ්ඩුවට සහාය දෙන්න සජබට ඇමැතිකම් අවශ්‍ය නෑ

0
39

සමගි ජන බලවේගය විදිහට ආණ්ඩුවට සහාය දෙන්න ඇමැතිකම් අවශ්‍ය නැහැ.  අපි දැනටත් ආණ්ඩුවට සහාය දෙනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල පැවැසීය.

ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී  පාර්ලිමේන්තුව තුළ කමිටු හරහා සහාය ලබා දෙන බව  විපක්ෂ නායකවරයා  පැහැදිලිවම ප්‍රකාශ කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ  ඊයේ (1දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

රූපවාහිනි මාධ්‍ය තුළ පත්තරේ විස්තරේ තුළින් නම් ගණනාවක් ප්‍රකාශයට පත්වුණා. ඒ නම් අතර මා ඇතුළු මන්ත්‍රි කිහිප දෙනෙක්ගේ නම් කියවුණා. ආණ්ඩුවට සහාය දීම සඳහා ඇමැතිකම්, තනතුරු, වරදාන ගන්න කණ්ඩායම හැටියට. එහිදී පැහැදිලිව කියන්න ඕන එම පුවත රූපවාහිනි මාධ්‍යයේ ප්‍රකාශ වුණේ පත්තරේ විස්තරේට. එය ආවේ දේශය පුවත්පතේ වාර්තාකරුවෙක් නොමැතිව නිර්නාමිකව. එය සම්පූර්ණ අසත්‍යයක්. මොකද වර්තමාන තත්ත්වය තුළ මෙවැනි පුවත් සතියෙන් සතිය මවනවා. ගිය සතියේ තිබුණේ වෙනත් නම්. ලබන සතියේ තව නම් ටිකක් එයි. ඇත්තටම කියන්න කැමැතියි මාධ්‍යයට එවැනි පුවත් මවන කණ්ඩායම් ඉන්නවා. අපි දකිනවා සමාජ මාධ්‍ය  තුළ මෙවැනි දේවල් නොයෙක් අවස්ථාවල සිදුවෙනවා. නමුත් පිළිගත් මාධ්‍ය  තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීම කනගාටුදායක කාරණාවක්ය. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම්  එයට අපේ කිසිම අකැමැත්තක් නැහැ. වර්තමානයේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කාටත් වගකීමක් තියෙනවා.

ජනතාව අද තමන්ගේ ජීවිතේ ගෙනියන්න බැරි තැනට පත් වෙලා. එවැනි අවස්ථාවක මාධ්‍යයත් වගකීමෙන් වැඩ කරන්න ඕනෑ. පහුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරන්න මාධ්‍ය  විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. ඒවා අසත්‍ය බව අපට වැටහුණා. එයට හොඳම උදාහරණය Doctor Shafi ට දේශපාලන වශයෙන් ගත්තොත් ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2015 එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ අපිත් එක්ක ඊළඟට හිටපු පුද්ගලයා. ඒ කාරණාවේදී මාධ්‍ය හැසිරුණු ආකාරය අපි හොඳින් දැක්කා. ඒ තත්ත්වය තුළ එයාගේ දරුවන්ට පාසලට යන්න බැරිව ජීවිතේ සම්පූර්ණ විනාශ වුණා. නමුත් මේ වෙනකොට අධිකරණ ක්‍රියාවලියක් ගිහිල්ලා. ඒවා පරීක්ෂා කරල අද ඔප්පු වෙලා තියෙනවා නිර්‍ෙදා්ෂී බවට. එයාගේ වැටුප සියල්ල ලැබෙන්න සැලැස්සුවා. ඒ නිසා අද මාධ්‍යකරණයේදී යම් යම් කාරණා උඩ ගෝඨාභය රාජපක්ෂ  උස්සලා තියපු දේ තුළ වෙච්ච විපාකය බලන්න.

අද ලක්ෂ 22 මහ පාරේ දුක් විඳින්නේ ඒ නිසා. මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් මාධ්‍යයට තියෙනවා. මේකෙ ජනතාවත් එක්ක සෙල්ලම් කරන වෙලාවක් නෙමේ. ජනතාව තුන් වේලක් කන්න බැරිව අසරණ වෙච්ච වෙලාවක්. ඒ තුළ තමන්ගේ දරුවන්ටත් එක වේලක් දෙන්න බැරි පවුල් ගණනාවක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් කරපු සමීක්ෂණයක මිලියන 6.5ක් තමන්ගේ පවුලට නිසි ආහාර වේලක් ගන්න බැරුව ඉන්නවා. ඒ තත්ත්වය එන්න එන්න වැඩි වෙනවා. එහෙමනම් අපි හැම කෙනාටම දේශපාලනඥයෝ ඇතුළු අනෙකුත් ක්‍ෂේත්‍රවල අයට විශාල වගකීමක් තියෙනවා.

මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා මාධ්‍යටත් ලොකු වගකීමක් තියෙනවා. මාධ්‍යයේ පුද්ගලයන් සම්බන්ධ කාරණා ඉදිරිපත් කිරීමේදී ඒ අයගේ ගෞරවයට හානියක් ඇති වෙන දේවල් සිදුවෙනවා නම් විමසා බැලිය යුතුයි. පත්තරේ තිබුණ ගොසිප් එකක් රූපවාහිනියේ ඇවිත් කියනවා කියන්නේ ඒක වැරදියි. ඒක ගොසිප් එකක් නම් ඒ විධියට කරන්න ඕන. නැත්නම් ඒ මන්ත්‍රිතුමාට කතා කරලා අහලා බලන්න ඕන.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙන කමිටු හරහා අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න අපි සූදානම්. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් තවත් කණ්ඩායම් ඇති එකට එකතු වෙලා උදවු කරන්න. විපක්ෂයක් හැටියට අපිට ඊට වඩා වැඩි සහායක් කමිටු හරහා රටේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න හැකි වෙනවා. ජනතාවගේ පැත්තේ ඉඳලා කටයුතු කරන විපක්ෂයක් අවශ්‍යයි. ඒ වගකීම ඉෂ්ට කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි කීන්ස් නෙල්සන් මෙසේ පැවැසීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න විපක්ෂයේ මන්ත්‍රිවරු බිලි බාල හරියන්නෑ. ඒක සර්වපාක්ෂික වෙන්නේ නෑ. ඒකට අපි කිසිම විටෙක සූදානම් නැහැ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව එන විට අපි විරුද්ධව ඡන්දය දුන්නා. අය – වැයටත් විරුද්ධව ඡන්දය දුන්නා. ජනාධිපතිවරයා තෝරන අවස්ථාවේදී අපි අපේ නියෝජිතයා විධියට නියෝජනය කරපු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මෙසේ කීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටිද්දී අපේ නායකයාට ආරාධනා කළා අග්‍රාමාත්‍ය ධුරය ලබාගන්න කියලා. අපි එහිදී කොන්දේසියක් දැම්මා. අපි ආස නෑ නිකම් ජනතාවට සන්දර්ශන පෙන්නන්න. සර්වපාක්ෂික ආණ්ඩු ගහනවට සර්වපාක්ෂික ආණ්ඩුවේ තේරුම තියෙන්න ඕන. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවා. අපි සම්බන්ධ වුණා. රටේ ප්‍රශ්න විසඳනවා කියන්න නෙමෙයි.

මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආකාරය ආණ්ඩුවක් තමයි අපි නිර්මාණය කරන්න ඕන. බෝඩ් එක සර්වපාක්ෂික වුණා කියලා ඇතුළේ සර්වපාක්ෂික නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. සජිත් ප්‍රේමදාස මහතා කිසි දවසක අත්තනෝමතික විදිහට කටයුතු කරන්නේ නැහැ. අපි හැමෝගෙම අදහස් අරගෙන තමයි කටයුතු කරන්නේ. සමගි ජන බලවේගයේ කිසිම කෙනෙක් වෙනත් පක්ෂයකට යන්නේ නැහැ.

නිර්මාණි ගුණරත්න