මෙවර ශිෂ්‍යත්වයට ඉගෙන ගන්නා දියණියට පාඩම් කියාදෙන්නේ විදුලි පන්දමේ එළියෙන්

0
32

විදුලිය පහසුකම්ද නොමැතිව මනම්පිටිය සමුපකාර ප්‍රාදේශිකයේ වසර දෙකහමාරක පමණ කාලයක සිට කුලියට සිටිමින් පහ වසරේ ඉගෙනුම ලබන සිය දියණියට ඉගැන්වීමට වෙහෙසන අසරණ මවුපිය දෙපළක් පවසන මේ දුක්බර කතාව අසන්න. ඔවුන් ජීවත්වන මේ ස්ථානයේ විදුලිබලය නැත. එබැවින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දැරියට පාඩම් කිරීමටද නොහැකි වී ඇත. දැනට රෝගීව සිටින මේ මව හා පියා රාත්‍රි කාලයේ තම දියණියට පාඩම් කියාදෙන්නේ විදුලි පන්දමක ආධාරයෙනි.

පොල්තෙල් පහනක එළියෙන් මෙතෙක් පාඩම් කටයුතු කරගෙන ඇත. එහෙත් අසරණ මවුපියන්ට දැන් පොල්තෙල් ගැනීමටවත් වත්කමක් නැත. විදුලි පන්දම චාජ් කරගන්නේද අසල නිවෙසක අයගේ උපකාරයෙනි.

මේ වනවිට රුපියල් 2500ක මාසික කුලියට මනම්පිටිය සමුපකාරයේ කොටසක පදිංචිව සිටින අමිල නිශාන්ත කුමාර සහ එච්.ඒ. සුනීතා මෙම මවුපිය දෙපළයි.

දුම්රියට හසුවීමෙන් වම් කකුල ආබාධිතව සිටින අමිල හැකි අයුරින් කුලී වැඩ කරමින් දරු පවුල පෝෂණය කරයි. මේ දිනවල කුලී වැඩත් නොමැතිවීමෙන් ඔවුනට සමුපකාර ප්‍රාදේශිකයේ කුලී ගෙවා ගැනීමට නොහැකි නිසා ඉන් ඉවත්වීමටද දැනුම් දී තිබෙන බව කියති.

ඔවුන්ට සමෘද්ධිය මෙන්ම වෙනත් කිසිදු රජයේ සහනාධාරයක් නොලැබෙයි. මෙම අසරණ දරු පවුල බොහෝවිට කුස පුරවා ගන්නේ අසල්වාසීන් ලබාදෙන ආහාරයකින්ය. පාසල් යන දරුවන් දෙදෙනා සවස් කාලයේ අසල නිවෙසට ගොස් බුදුන් වැඳීම කරන්නේද තම මවුපියන්ට පොල්තෙල් ටිකක්වත් ලබාගැනීමට වත්කමක් නොමැති නිසාවෙනි.

මෙවර 5 වසර ශිෂ්‍යත්වයට මුහුණදෙන සෞභාග්‍යා සෙව්වන්දි හා ඇගේ සොයුරු උදාර අසරංග නිශ්ශංකමල්ලපුර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරති. ඔවුන් අධ්‍යාපනය ලබාගැනීමට අති දක්ෂ සිසුන් දෙදෙනෙක් බව ගුරුවරු පවසති.

ඔවුන් කුලියට ජීවත්වන සමුපකාර ප්‍රාදේශිකයට දැන් විදුලිය නැතත් මාසිකව රුපියල් දෙසීයකට වැඩි විදුලි බිලක් ලැබෙයි. මේ වනවිට රුපියල් 20,000කට ආසන්න හිඟ මුදලක් ගෙවීමටද වී ඇත. මේ හේතුවෙන් ඔවුහු දැඩි මානසික පීඩනයට පත්ව සිටිති. මෙම පවුල් සඳහා වැසිකිළි පහසුකම්වත් නොමැත.

ආර්ථික අභියෝග හමුවේ අසරණව තම දරු පවුල  සමඟ ජීවත්වන සුනීතා මහත්මිය හැඬූ ක¾දුළින් අප සමඟ මෙලෙස කීවාය.

“අපි පදිංචි වෙලා හිටපු ඉඩම පුතාට දුන්නා. ඊට පස්සේ ගෙවල්වලට කුලී ගෙවමින් ජීවත් වුණා. මම ඉස්කෝලේ වත්ත අතුගාලා සතියකට රුපියල් හයසීයක් ගත්තා. දැන් සතියකට දින තුනක් පාසල් පැවැත්වෙන්නේ. ඒ මවුපියන්ටත් සල්ලි නැති හින්දා ඉස්කෝලේ වත්ත පිරිසුදු කරන්න මං යන්නෙත් නැහැ.  මට සමෘද්ධියත් නැහැ.

රුපියල් 2500ක මාසික කුලී පදනම මත අපි ඉන්නේ මේ අබලන් සමුපකාර ගොඩනැඟිල්ලේ. අවුරුදු දෙකහමාරක් වෙනවා මෙතෙන්ට ඇවිල්ලා. ඒ කුලිය ගෙවාගන්න බැරි නිසා අපිට සමුපකාරයෙන් දැනුම්දුන්නා ඉවත් වෙන්න කියලා. මේකට ලයිට් නැති නිසා අපි කාලයක් ලාම්පුතෙල් අරන් කුප්පි ලාම්පු එළියෙන් තමයි හැමදේම කළේ. දැන් මාස ගාණක් තිස්සේ ලාම්පුතෙල් ගණන් ගිහින්.

ඊට පස්සේ පොල්තෙල් පහනෙන් මාස කිහිපයක් දරුවන් පාඩම් වැඩ කෙරුවා. දැන් පොල්තෙල් ටිකවත් ගන්න සල්ලි නැහැ. දරුවන් මල් පහන් තියලා බුදුන් වඳින්න යන්නේ මගේ අක්කගේ ගෙදරට. දුව මේ සැරේ ශිෂ්‍යත්වයට මුහුණ දෙනවා. අපි ණයට විදුලි පන්දමක් අරන් ඒක කරන්ට් එක තියෙන ගෙදරකින් චාර්ජ් කරලා රෑ දුවපුතා පාඩම් කරනකම් එය පත්තු කරන් අපි දෙන්නා ඉන්නවා.

ඉතින් අපිට පුළුවන් විදිහට උදවු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මට දුරකථන අංකයක්වත් බැංකු ගිණුමක්වත් නැහැ. සමෘද්ධියත් නැහැ. රජයෙන් කියලා කිසිම සහනාධාරයක් මට ලැබෙන්නෙත් නෑ.

මහත්තයා කෝච්චියට හැප්පිලා කකුල් ආබාධ වෙලා. මටත් හතිය, කලන්තෙ හැදෙනවා. පුළුවන් විදිහට කුලියට යනවා. ඒත් මේ දවස්වල කුලී වැඩවත් නැහැ. අපි කොහොම හරි දුව ශිෂ්‍යත්වයෙන් සමත් කරගන්න තමයි මේ හැම දුකක්ම විඳින්නේ. කවුරුන් හෝ අපිට උදවු උපකාරයක් කරයි කියලා විශ්වාස කරනවා” යැයි එච්.ඒ. සුනීතා හැඬූ ක¾දුළින් පැවැසුවාය.

ඔබට හැකි අයුරින් ඔවුනට යම් උපකාරයක් කිරීමට හැකි නම් එය විශාල පින්කමකි. ඔවුන් සම්බන්ධ කර ගැනීමට සුනීතා මහත්මියගේ වැඩිමහල් සහෝදරියගේ දුරකථන අංකය 0740046140 ස්වර්ණලතා ඇමතිය හැකිය.

මනම්පිටිය _ නිමල් ජයරත්න