මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පැනවූ රාජිතට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

0
12

ඉකුත් ජනාධිපතිවරණය සමයේ කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් රථවලින් පුද්ගලයන් පැහැරගෙන ගියේ යැයි බොරු ප්‍රකාශ සිදු කළැයි කියන සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01දා) නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මහාධිකරණයේ සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති අතර එහිදී එම අධිකරණය මඟින් සැකකරුට විදේශ ගමන් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව මෙම අධිකරණයේ පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසට නීතිඥවරු කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළාය.

ඒ අනුව සැකකරුට මහෙස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.  පසුගිය 2019 නොවැම්බර් මස 10 වැනි දින ජනාධිපතිවරණ කාලය අතරතුරදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන යෑම, මිනී මැරීම, වදහිංසා පැමිණවීම, ප්‍රභාකරන්ගේ රත්රන් හා යූරෝ මුදල් හොරකම් කිරීම, තොරතුරු වසන් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් කරුණු හෙළි කර තිබිණි.

හංසි නානායක්කාර