මහින්දට හා බැසිල්ට රට ගමන් යළි තහනම්

0
18

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් අනිද්දා (4දා) දක්වා දීර්ඝ කරනු ලැබීය.

අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් එලෙස නියෝග කරන ලද්දේ ඊට අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු විමසුම හෙට (3දා) දිනය දක්වා කල් තැබීම අනුවය.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට එවකට රට පාලනය කළ නායක කාරකාදීන් වගකිවයුතු බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියම කරන්නැයි ඉල්ලා උක්ත පෙත්සම් ගොනු කොට ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු විජිත් කේ. මලල්ගොඩ, විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය හා විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන පංචපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම අයිතිවාසිකම් පෙත්සම් විමසුම සිදුවේ.

මෙම පෙත්සම් මඟින් වගඋත්තරකරුවන් කොට ඇති හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, හිටපු මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන්ද ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පූර්ව අවසරයකින් තොරව රටින් පිටව නොයන බවට සිය නීතිඥවරුන් මඟින් අධිකරණයට ප්‍රතිඥා දී ඇත.

මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන හා නවීන් මාරපන යන මහත්වරුන් පෙනී සිටි අතර පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර හා උපුල් ජයසූරිය මහත්වරුන් පෙනී සිටියහ.

මෙම පෙත්සම් ගොනුකොට ඇත්තේ ශ්‍රී  ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න, හිටපු පිහිනුම් පුහුණුකරුවකු වන ජූලියන් බෝලිං සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (රාජ්‍ය නොවන) සංවිධානය ඇතුළු පිරිසක් විසිනි.

පෙත්සම් පිළිබඳව මූලික කරුණු විමසුම හෙට (3දා) යළි පැවැත්වේ.

කමල් මහේන්ද්‍ර වීරරත්න