මහා වේදනා නොදී සමාදානයේ සැතපෙන්න Euthanasia Device

0
60

මීට සති කිහිපයකට උඩදී ජනප්‍රිය මාතෘකාවක් වුණ euthanasia device එහෙමත් නැත්නම් යුතනේසියා යන්ත්‍රය ඔබ කාටත් මතක ඇති.  එක්වරම යුතනේසියා යන්ත්‍රය කිව්වම කනට නුහුරු වුණත් කාන්තාවක් තමන්ගේ අවසාන සිනාවත් රැගෙන යුතනේසියා යන්ත්‍රයක සිටින අවස්‍ථාවක සටහන් වුණ ඡායාරූපයක්  මරණයේ සිනහව නමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා ඔබට මතක ඇති.  මොකක්ද මේ යුතනේසියා කියන්නේ.  යුතනේසියා කියන වචනය නිර්මාණය වෙන්නෙ වර්ෂ 1650 තරම් වූ අතීත කාලයක. ග්‍රීකයෙන්.

ඒ කොහොම වුණත් වර්තමානය වෙනකොට මේ යුතනේසියා කියන වචනය ලොව පුරා සීග්‍රයෙන් කතාබහට ලක්වෙනවා. මේ වචනයේ තේරුම සරලවම ගත්තොත් සුඛ මරණය  එහෙමත් නැත්නම් වේදනාවෙන් තොර මරණය,  නිර්වින්දිත මරණ, කරුණාබර මරණය ලෙස හඳුන්වන්න පුළුවන්. 20 වැනි සියවසේ අගභාගය වනවිට සුඛ මරණය පිළිබඳ කතාබහට ලක්වීම මුලින්ම ආරම්භ වෙනවා. එංගලන්තය සහ අමෙරිකාව කියන බටහිර රටවල් ද්විත්වයෙන්  ඊට පෙර ජර්මනියේ නාසිවරුන් ඔවුන්ගේම යුතනේසියා වැඩසටහනක් පවත්වාගෙන ගිය බව සඳහන් වෙනවා. කොහොම නමුත් මේ යුතනේසියාව එනම් සුඛ මරණය ලෝකය පුරා ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා.  ඉන් පළමු වැන්න සක්‍රිය සුඛ මරණය. දෙවැන්න අක්‍රිය සුඛ මරණය. 

සක්‍රිය සුඛ මරණයේදී සිදුවන්නේ වෛද්‍යවරයකු හෝ හෙදියකගේ සහභාගිත්වයෙන් අසනීපයට පත්ව සිටින රෝගියාට මිය යෑමට අවශ්‍ය ඔෟෂධ ලබා දීම හෝ ජීවිතය පවත්වා ගැනීමට ආධාර කරගනු ලබන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම. අක්‍රිය සුඛ මරණයේදී සිදු වන්නේ රෝගියා තමන්ට ජීවත් වීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගෙන මරණය තමා කරා පැමිණෙන තුරු පුන පුනා බලා සිටීම. මෙම යුතනේසියාව සම්බන්ධව විවිධ ආගම් සහ සංස්කෘතීන් විවිධ මතවාද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් බොහොමයක් ආගම් මෙය සදාචාර විරෝධී ලෙස සලකනවා. ඇතැම් ආගම් තුළ මෙය මිනීමැරුමකට දෙවැනි නොවන බව දැඩිව සඳහන් කරනවා.  ඉස්ලාම් ආගමික කණ්ඩායම් මෙම සුඛ මරණය දැඩිව ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා ඔවුන්ගේ වන විරෝධය දක්වනවා. එනමුත් ජපන් ෂින්ටෝ ආගමිකයන් බහුතරයකගේ විශ්වාසය වන්නේ යමෙක් මරණය ඉල්ලා සිටින්නේ නම් එයට උදවු කළ යුතු බවයි.

නිල රෝමානු කතෝලික පල්ලියද මෙය දැඩි ලෙස විවේචනයට ලක් කරනවා. හින්දු මතධාරීන් විසංවාදී මත ද්විත්වයක් ගෙන හැර පාමින් තමන් ඒ පිළිබඳ දක්වන අදහස පැහැදිලි කරනවා. ඔවුන් දක්වන්නේ යමකුගේ වේදනාකාරී ජීවිතය අවසන් කිරීමට උදවු කිරීම යහපත් වුවත් එය පුනර්භවය නම් වූ ක්‍රියාවලිය සඳහා මැදිහත් වීමක් වන බව. ඒ කෙසේ වුවද 2016 වර්ෂය වන විට නෙදර්ලන්තය, බෙල්ජියම, කොලොම්බියාව, ලක්ෂෙම්බර්ග් වැනි රටවල් තුළ මෙම සුඛ මරණය නීතිගත කර තිබෙනවා. ඉන්දියාවේ සහ ස්වීඩනයේ අක්‍රිය සුඛ මරණය පමණක් නීත්‍යනුකූල වෙනවා. ඕස්ට්‍රේලියාව, එංගලන්තය,  ටර්කි, ෆින්ලන්තය, පිලිපීනය, නෝර්වේ වැනි රටවල් කිහිපයකම සුබ මරණය තවමත් තහනම්  ගිය වසරේ අගභාගයේදී ස්විට්සර්ලන්තය නවීන යුතනේසියා යන්ත්‍රය මඟින් සුඛ මරණයට අවසර ලබා දෙනවා. 

මෙම සුඛ මරණය කායිකව රෝගාතුර වූවන්ට පමණක් නොව මානසිකව විවිධ ව්‍යාකුලතා හටගත් පුද්ගලයන්ටද ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා විවිධ යන්ත්‍ර වර්ග සහ කැප්සියුල් වර්ග වර්තමානය වනවිටත් හාවිත වෙනවා. ඒවා වෛද්‍යවරයකු වැනි දෙවැනි පාර්ශ්වයක් විසින් හෝ මියයෑමට කැමැති පුද්ගලයා විසින් ක්‍රියාත්මක කළ  යුතු වෙනවා. 

සුඛ මරණ විදී සලකා බැලීමේදී ජැක් කෙවෝර්කියන් විසින් නිර්මාණය කරන ලද thanatron නම් වූ යුතනේසියා යන්ත්‍රය එක් ක්‍රමයක් ලෙස දක්වන්න පුළුවන්.  මෙම යන්ත්‍රය හරහා යුතනේසියා ඩ්‍රග්ස් අදාළ පුද්ගලයාගේ ශරීරය තුළට ඇතුළු කිරීමෙන් සුඛ මරණය ලබා දීමට කටයුතු කරනවා. මෙම යන්ත්‍රය ලෝහ රාමුවකින් සමන්විත වූ අතර එහි කැන්ස්ටර් තුනක් සහ එම තුන තුළ ඇති ද්‍රව්‍ය සහ ද්‍රාවණ එකවර ශරීරගත වන ලෙස ක නාළයකින් සමන්විත වනවා. සේලයින්, සෝඩියම්, තයෝපෙන්ට්ල්, පොටෑසියම් ක්ලෝරයිඩ් හි මාරාන්තික මිශ්‍රණයක් ඉහත කැනිස්ටර් තුනෙහි අඩංගු වෙනවා.  මෙහිදී හදවත වහා නතරවීම සිදු වන අතර මරණාසන්න ක්‍රියාවලියේදී සිදුවන කැක්කුම වැළැක්වීමට අංශභාග ඔෟෂධයක් වන Pancuronium Bromide අඩංගු වෙනවා. 

Merciton device කරුණා යන්ත්‍රය  ලෙස හඳුන්වන කාබන් මොනොක්සයිඩ් කැනිස්ටරයකින් සමන්විත වූ මෙම යන්ත්‍රය සාදන ලද්දේ kevorkian විසින්. මෙම යන්ත්‍රය නිසා සිදු කරන ලද මුල්ම මරණ දෙකෙන් පසුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අවලංගු කිරීම නිසා යන්ත්‍රය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකි වීම නිසා ඉන් පසු මෙම උපකරණය භාවිත නොවුණා. 

පිලිප් නම් වූ පුද්ගලයකු විසින් පරිගණක මෘදුකාංග ආශි්‍රතව නිර්මාණය කරන ලද යුතනේසියා යන්ත්‍රයක්ද මෙම සුඛ මරණය සඳහ, භාවිත වුණා. Deliverance නම් මෘදුකාංගය මඟින් පුද්ගලයා මිය යෑමේ තෙනාව තහවුරු කරන්නේද යන්න පිළිබඳ දැනගැනීම සඳහා ප්‍රශ්න මාලාවක් අසන ලදී. ප්‍රශ්න සියල්ලටම ස්ථිර ලෙස පිළිතුරු ලබාදීමෙන් පසුව බාබියුටේ නම් මාරාන්ත්‍රීක එන්නත ප්‍රේරණය වී පුද්ගලයා මිය යෑමට පත්වෙනවා. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය මඟින් මෙම යන්ත්‍රය ඉවත් කිරීමට කටයුතු සිදු වුණ අතර වර්තමානයේ බි්‍රතාන්‍ය විද්‍යා කෞතුකාගාරය තුළ මෙම යන්ත්‍රය ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

2017 වසරේදී සාර්කෝ නම් සුසයිඩ් කැප්සියුලයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි නයිට්‍රජන් අඩංගු වන අතර සක්‍රිය කිරීමේ කේතයක් ඇතුළත් කළ යුතු වෙනවා. අනතුරුව නැවතත් පුද්ගලයා මිය යෑමට කැමැති දැයි ඇසීමෙන් අනතුරුව ලැබෙන ස්ථිර පිළිතුර සමඟ නයිට්‍රජන් කැප්සියුලය තුළින් ගලා යෑමටත්  සිරුරේ ඔසිජන් විස්ථාපන කිරීමත් සිදු කරනවා.  ඉන් මඳ වේලාවකට පසු මරණය සිදු වෙනවා.

වර්තමානය වනවිට බොහෝ ජනප්‍රිය මාධ්‍යයක් වී තිබෙන්නේ සියදිවි නසාගැනීමේ කුටියයි.  මේවා suicide booths ලෙසද හඳුන්වනු ලබනවා.   වත්මන් රචක Martin Amis 2010 වසරේදී මෙම suicide booths පිළිබඳ තම අදහස දක්වන්නේ මේ ආකාරයටයි. 

“Therell be a population of demented very old people like an invasion o terrible immigrants stinking out the restaurant and cafes and shops There should be a booth on every corner where you could get a Martini and a medal”

මේ ආකාරයට සුඛ මරණය වර්තමාන ලෝකය තුළ අතිශයින් සාමාන්‍යකරණය මෙන්ම සාධාරණීකරණය වීමද විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මෙහිදී සුඛ මරණය පිළිබඳ පක්ෂව සහ විපක්ෂවද බොහෝ කරුණු රැස් වී තිබෙනවා.

මෙහිදී වෛද්‍යවරයකු තම වෘත්තියේදී ලබා දෙන දිවුරුමට අනුව එලෙස මරණයට උපකාර කිරීම පටහැනි වෙනවා. එසේම මේ මඟින් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අවතක්සේරු වන බවද  මෙලෙස ක්‍රම සහ විධි සොයා ගැනීම මඟින් ස්වේච්ඡා සහගත නොවන මරණයන්ට පවා ‍ෙදාරගුළු විවර වන බවටද බොහෝ අය තර්ක කරනවා. ඒ කෙසේ වුවත් ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ පහළ යන විට එම පුද්ගලයාගේ කායික, මානසික පීඩාව සහ වේදනාව අන් කිසිවකුට බාහිරින් බලා ගණනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම සෑම පුද්ගලයකුටම තම ජීවිතයේ අවසානය කෙදිනක විය යුතුදැයි තීරණය කිරීමේ අයිතිය පවතිනවා. 

තම ජීවිතය පිළිබද තීරණය ගැනීමේ නිදහස වෙන් වෙන් වශයෙන් ඒ ඒ පුද්ගලයා සතු වන බැවින් මරණය අපේක්ෂා කරන පුද්ගලයාට ජීවත් වෙන ලෙස ආයාචනා වැඳ වැටීම අප විසින් අත්‍යවශ්‍යයෙන් කළ යුතු දෙයක් නොවෙනවා.  අන් කවරකටත් වඩා සුඛ මරණයට පක්ෂව දැක්විය හැකි ප්‍රධාන කාරණාවක් වන්නේ ගෙල වැලලාගෙන, ජලයේ ගිලී, දුම්රියට පැන හෝ තමන් කිසියම් තලයකින් කැපුම් සිදුකරගෙන වැනි  වේදනාත්මක සියදිවි හානි කර ගැනීම්වලට වඩා වේදනා රහිතවම සුඛ මරණය ලබා ගැනීමට හැකි වීම. 

ඉහත කරුණු කාරණා කෙසේ වුවද මාත් ඇතුළ සියලු මනුෂ්‍ය ප්‍රාණීන් වේදනාවෙන් තොර වූ මරණයක් අපේක්ෂා කරන බවට මා විශ්වාස කරනවා. නමුත් ලංකාව තුළ සුඛ මරණය සඳහා නීත්‍යනුකූල වලංගුභාවයක් තවමත් ලබා දී නැති බව අවශ්‍යයෙන්ම සටහන් කළ යුතු වෙනවා. ලංකාව තුළ ජීවත් වෙන ඔබ සුඛ මරණය අපේක්ෂා කරන්නෙක් නම් එක්කෝ විදෙස් ගත වීම අවශ්‍යයයි. නැත්නම් ලාංකේය නීතිය තුළ සුඛ මරණය නීතිගත කිරීම සඳහා උත්සාහ කළ යුතු වෙනවා. ඉන් වඩාත් පහසු පළමුවැන්න බව අමතර කරුණක් ලෙස සටහන් කරන්නම්. 

පවනි වාසනා