මන්ත්‍රිවරුන්ට විශේෂ ඉන්ධන කෝටාවක් දී නැහැ

0
13

ඇතැමුන් සඳහන් කරන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනට ලබාදෙන ඉන්ධන කෝටාවට අමතරව විශේෂයෙන් වෙනම ඉන්ධන කෝටාවක් ලබාදී නොමැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. මන්ත්‍රිවරුන්ට අනුමත වී තිබුණු ඉන්ධන කෝටාව ලබා ගැනීමට ස්ථාන කිහිපයක් පමණක් ලබාදී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය. මහනුවරදී පෙරේදා (31දා) පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව කීය.

පාර්ලිමේන්තුවට ඒමට සහ ආපසු යෑමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පහසුකම් පමණක් ඇති කර තිබෙන බවත් එසේ නොමැතිව විශේෂයෙන් වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය. මේ වන විට ක්‍රියාත්මක වන කේත ක්‍රමය යටතේ සෑම පුද්ගලයකුටම සාධාරණ ආකාරයෙන් ඉන්ධන බෙදී යෑමක් බලාපොරොත්තු වන බවත් එවිට වර්තමානයේ පවතින තදබදය ක්‍රමයෙන් අඩු වී යතැයි බලාපොරොත්තු වන බවද අගමැතිවරයා පැවැසීය.

මහනුවර – කේ.එල්. සුරවීර