බර ඉසිලීමෙන් චතුරංගට පස්වැනි තැන

0
15

මේ දිනවල එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඊයේ (01) සවස් භාගයේ වනවිටත් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිව ඇති අතර, එක් ලෝකඩ පදක්කමක් දිනාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට 24 වැනි ස්ථානයට පත්ව සිටී.

පෙරේදා (31දා) රාත්‍රියේදී පැවැති බර ඉසිලීම තරගවලින් අපේක්‍ෂිත ප්‍රතිඵල අත්කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාවක් නොලැබුණු අතර, චතුරංග ජයසූරිය පමණක් 5වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ.  ඒ අනුව කි.ග්‍රෑ. 67 බර පන්තිය යටතේ තරග වැදුණු චතුරංග ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 119ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 140ක් ලෙස මුළු බර කි.ග්‍රෑ. 259ක් ඔසවමින් පස්වැනි තැනට පත්වෙද්දී රන් පදක්කම ඕස්ට්‍රේලියාවට හිමිවිය.

තවද කි.ග්‍රෑ. 73 බර පන්තිය යටතේ අවසන් තරගයට  ඉදිරිපත් වූ ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 133ක් එසවූ නමුත් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඉදිරිපත් කළ බර ප්‍රමාණය එසවීමට නොහැකි වී තිබිණි.  එසේම ශ්‍රී ලංකාව බලාපොරොත්තුවක් තබා සිටි රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් තරගයට එක්වූ මිල්කා ගෙහානිට තරගය නිම කිරීමට නොහැකි වූවාය.

මේ අතර කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිල ඔවුන් සහභාගි වන දෙවැනි තරගය ලෙස අද (02දා) නවසීලන්තය සමඟින් පැවැත්වීමට නියමිතය.

පළමු තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ කඩුලු 5ක පරාජයක් අත්විඳගත් ශ්‍රී ලංකා පිලට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය ජයගැනීම අතිශය වැදගත් වී ඇත.