‘පොදු පාසල් සේවා’වට ගැමුණු නෑ

0
22

“පොදු පාසල් සේවා” නමින් පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිසම නිවේදනය කරනු ලැබුවත් පෞද්ගලික බස් සංගම් එය ක්‍රියාත්මක නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය.

නව බස් සේවාවක් මඟින් පාසල් සිසුන් හා ගුරුවරුන් පාසල් වෙත යොමු කිරීමට නව ක්‍රමවේදයක් තම සංගමය පසුගියදා යෝජනා කළත් තවමත් ඒ පිළිබඳව තම සංගමය දැනුවත් කර නොමැති බවත් ඒ අනුව කිසිදු බසයක් ඒ සඳහා යොමු නොකරන බවත් හෙතෙම කීය.

ඉන්ධන අර්බුදය නිසා දරුවන් පාසල් වෙත ගෙන යෑමට සඳහා තම සංගමයේ දායකත්වය ලබාදීමට කටයුතු කළත් විවිධ අයගේ මැදිහත් වීම හේතුවෙන් එය නතර වී ඇති බවත් “පොදු පාසල් සේවා” වැඩසටහනත් රජයේ වුවමනා අනුවම සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව කරන මෙම වැඩසටහන කිසිම අවස්ථාවක නතර කිරීමට කටයුතු කර නොමැති බවත් එය සූදානම් කර තිබුණු පරිදිම ක්‍රියාත්මක බවත් මේ සම්බන්ධව කළ විමසීමේදී ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවැසුවේය.

මේ සඳහා යොදා ගන්නා බස් කිසිදු සංගමයකට අයිති ඒවා නොවන අතර ඒවා සියල්ලම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අනුමැතිය හිමි බස් බවත් මාර්ග බලපත්‍ර හිමියන් මේ සඳහා ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වූ බවත් හෙතෙම කීය.

විධිමත් නියාමනයක් ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ ආරම්භ කිරීමෙන් අනතුරුව ඉල්ලුම අනුව අනෙක් ප්‍රදේශවලත් දියත් කරන

බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන