පාස්කු ප්‍රහාර නඩුවෙන් ජනපති රනිල්ට එරෙහි නඩු ගොනුව බහා තබන්නැයි ඉල්ලීමක්

0
22

මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ සිදුවූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මරණයට පත්වූ 74 දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ සමීපතම ඥාතීන් විසින් සහ එම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් බරපතළ සහ මාරාන්තික තුවාල ලැබූ පුද්ගලයන් එකසිය තිස් දෙනකු වෙනුවෙන් එම තුවාලකරුවන් සඳහා සුදුසු වන්දියක් ලබාගැනීම සඳහා (හානිපූරණය) විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව

මීගමු දිසා අධිකරණයේ නඩු 182ක් පවරා ඇති අතර ඊයේ අගෝස්තු පළමුවැනි දින (01දා) එම නඩු මීගමුව දිසා අධිකරණයේ  දිසා විනිසුරු එන්.ටී. හීනැටිගල මහතා ඉදිරියේදී   කැඳවා තිබිණි. මෙම නඩුවල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් සහ නීතිපති නම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මෙහිදී පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී මෙම නඩුව පවරා ඇති නමුත් දැනට ඒ මහතා ජනාධිපති නිලය හොබවන බැවින්  ජනාධිපති නිලයට  ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති  විනිර්  මුක්තිය යටතේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තිබෙන නඩු බහා (Layby) තබන ලෙසය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ දිලුම් ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය මෙහිදී ප්‍රකාශ කළේ මේ සම්බන්ධව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් විභාග වන බැවින්  ඒ සම්බන්ධව නියෝගය ලැබුණු පසු  මේ පිළිබඳව පියවර ගන්නා ලෙසය. එම පියවර ගැනීම සඳහා නඩුව ඔක්තෝබර් 31 වැනි දිනට කල් තැබිණි. පැමිණිල්ල වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ දිලුම් ප්‍රනාන්දු මහතා සමඟ කෞෂල්‍යා  ප්‍රනාන්දු, නදීෂා පෙරේරා යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

මීගමුව – නිමන්ති ප්‍රනාන්දු