පරපුරක අවුල විසඳන්න උඩු රැවුල වැවූ ශායිජා

0
75

ඉන්දියාව කියන්නේ මේ ආසියාතිකරයේ තියෙන සංස්කෘතිය, සම්ප්‍රදාය සහ සමාජ සම්මතය පත අට එකට හිඳවලා දිය කරලා බොන තරමට හිස මුදුනෙන් අදහන රටක්. ඉතින් එහෙම රටක කොණ්ඩෙ සාරි පොටෙන් වහලා තැල්ල බැඳලා කිලෝ ගාණක රිදී රත්තරන් ආභරණ පොරවගෙන ඉන්ඩ සමාජෙන් නියම වුණ හද්දා සාම්ප්‍රදායික ඉන්දියානු ගැහැනියක් සමාජෙට බම්බු ගහගනින් කියලා තමන්ගෙ මූණෙ උඩු රැවුලක් වැවෙන්න ඇරියොත් මොන වගේ ප්‍රතිචාරයක් ඒ මනුස්සයට ලැබේවිද? කේරලයේ ජීවත් වෙන තිස් තුන් හැවිරිදි ශායිජා ඊයේ පෙරේදා දවසක මේ ලිංග ඒකාකෘතික මී වදේට පළමුවැනි ගල් කැටේ ගැහුවා. ඒ උඩු රැවුලක් වවන්න තීරණය කරලා. 

සාමාන්‍යයෙන් ආසියාතික කාන්තාවන්ගේ මුහුණ ආශ්‍රිතව රෝම වැවෙන්නට ඉඩ හැරීම සමාජය විසින් අනුමත නොකරන දෙයක්. එය ඉතා අප්‍රසන්න සහ අවලස්සන දෙයක් විදිහට සමාජෙන් ප්‍රතික්‍ෂේප වෙනවා. නමුත් ශායිජා ඒ ප්‍රතික්ෂේපිත සමාජ සම්මතය ස්ව කැමැත්තෙන්ම ඇක්සෙප්ට් කරනවා. ඇහිබැම කප්පාදු කළත් ඇය තමන්ගේ උඩු තොලට ඉහළින් ඇති උඩු රැවුල කප්පාදු කිරීම තරයේ ප්‍රතික්ෂේප කරනවා.  මම මගේ උඩු රැවුල අගය කරනවා ඇය කියනවා.

සමාජය විසින් ගැහැනියක් නම් මෙසේ විය යුතුයි, පිරිමියෙක් නම් මෙහෙම විය යුතුයි කියලා ගොඩනඟන ජෙන්ඩර් ස්ටීරියෝටයිප්ස්, නැත්නම් ලිංග ඒකාකෘතීන් නිසා මිනිස්සු බොහෝ විට පෞද්ගලික නිදහස සහ තෝරාගැනීමේ අයිතිය සීමා වුණ හිරකාරයෝ ගාණට වැටෙනවා. පුතෙක් නම් සරමක්, දුවෙක් නම් කම්බායක්, ඉස්සර වැදුම් ගෙයි ‍ෙදාරකඩට වින්නඹු අම්මා පවා ඇවිත් කියන්නෙ එහෙමයි. එතකොට අපි ගර්භාෂෙන් එළියට ඔළුව පොඩ්ඩක් දැම්ම ගමන්ම අපි ඉස්සරහට අඳින්න ඕනෙ ඇඳුම මොකක්ද  කියන එක පවා සමාජය විසින් තීරණය කරලා ඉවරයි. ඊළඟට එතනින් එහාට ගැහැනියක් නම් සිසිවන උවන ඉඟසුඟ ගත හැක මිටින වගේ සියුමැලි සුමුදු සබන්බෝල ඉමේජ් එකකුත් පිරිමියෙක් නම් හෙණ ගැහුවත් කඳුළක් වට්ටන්න බැරි කළුගල් පරුවතයක් වගේ ඉමේජ් එකකුත් නඩත්තු වෙන්ඩ ඕනෑය කියන තොණ්ඩුව බෙල්ල මුලටම දාලා හිර කරනවා. ආයෙ ඉතින් නෝ හෙල්ලුම්, අඩියක්වත් එතැනින් පිටට තියන්න බෑ.

නිව්යෝර්ක් වීදිවල නර්තනයේ යෙදෙන ජේනිල් මෙහෙතා කියන්නෙත් මේ ජෙන්ඩර් ස්ටීරියෝටයිප්ස්වලට ෆේස් ටු ෆේස් චැලේන්ජ් කරන තරුණ නෘත්‍ය ශිල්පියෙක්. වයස අවුරුදු පහේදී නර්තනය තමන් තුළ ජීවත් වෙන බව අ¾දුරගන්න ජේනිල් වයස අවුරුදු හත වෙද්දි ඔහුගේ මවගේ සාරි සහ සාම්ප්‍රදායික ඉන්දියානු සායවල් ඇඳගෙන නර්තනයේ යෙදීම අත් හදා බලනවා.

“මම සායේ ඒ ලෙළවීමට ආදරෙයි. සායවල්වල මායාව හරිම සුන්දර එකක්. එය මම මගේ ළමා කාලය පුරාවටමත් ඉදිරි ජීවිතය පුරාවටත් අනිවාර්යයෙන්ම අගය කරන දෙයක්.  ඒ නිසාවෙන් ජේනිල් මෙහෙතා තමන්ගේ පැෂන් එක සහ ෆැෂන් එක සාම්ප්‍රදායික ඉන්දියානු සායක රැලි අතරෙන් නිව්යෝර්ක් වීදි දිගේ අතුරන්න තීරණය කරනවා. මේ වෙනවිට ඔහුගේ ආකර්ෂණීය නර්තන ඇතුළත් වීඩියෝ පට ලෝකය පුරාම බහුතරයක් ජනතාව ලොකු සුබවාදී උදේ‍යාගයකින් වැලඳගන්නවා.

තමන් කැමැති ජීවත් වීමේ රටාව තෝරාගන්න එක මනුස්සයෙක්ගේ අයිතිය. තමන් කැමැති ෆැෂන් එක, කැමැති විනෝදාංශය, කැමැති රැකියාව තෝරාගැනීම මැද්දට ජෙන්ඩර් ස්ටීරියෝටයිප් ඔබ්බවන්න යෑමෙන් වෙන්නේ ඒ පුද්ගලයන්ගේ මනස අභ්‍යන්තරයේ සාමය දෙදරවා හැරීමක්. කොල්ලෙක්ට නේල් ආර්ට් එකක් දාන එක කැප නැති, කෙල්ලෙක් ටැටූ එකක් ගහන එක රුස්සන්නේ නැති, සූපවේදය කෙල්ලන්ට විතරක් අයිති බූදලයක් කියලා ලේබල් ගහගත්තු, කොල්ලෙක් කරාබුවක් දාන එක මහා දරුණු අපරාධයක් වෙච්ච ඒකාකෘතිකරණ මේනියාවන් අනාගතය වෙනුවෙන් හෝ පුපුරා යා යුතු වෙන්නේ ඒ නිසාවෙන්.

ඇ¾දුම්, විනෝදාංශ, රැකියා හෝ ලෝකය තුළ පවතින කිසිවක් සීමාවලින් බෙදී ලේබල්වලින් වෙන්වී නැහැ. මේ හැම සීමාවක්ම හැම ලේබලයක්ම මිනිසා විසින්ම අටවාගත් ඒවා නිසාවෙන් ඒවා ගලවා දැමීමටත් මිනිසාටම හැකියාව තියෙනවා. ක්ලීන් ශේව් මුහුණක් තියෙන හැම මනුස්සයෙක්ම සුකොමල බවක් ලාලිත්‍යයක් උසුලන්නේ නැහැ වගේම මූණම වැහෙන රැවුල් කොටවලින් අමුතු ගටක් නිර්මාණය වෙන්නෙත් නැහැ. සරම කොල්ලන්ටය සාය කෙල්ලන්ටය කියලා ලියලා දුන්න ඔප්පුවකුත් කොහේවත් නැහැ. ඒ ගැන තවත් මොනවහරි සැක සංකා ඉතුරුයි වගේ නම් ඔබට පුළුවන් ගූගල් අවකාශයෙන් ස්කොට්ලන්ත ජාතික පිරිමින්ගේ සම්ප්‍රදායික ඇ¾දුම ගැන පොඩි සර්ච් එකක් දාන්න.

ඒක මේස රෙද්දක් වගේ චෙක් මැටීරියල් එකකින් මහපු දණහිස ළඟට දිග සායක්. රැවුලක් නැත්නම් පිරිමිකම දියවෙලා වැක්කෙරෙනව වගේ එකක් දැනෙනවනම් ඔබට පුළුවන් දකුණු කොරියානු ප්‍රාසාංගික ක්ෂේත්‍රයට එබිලා බලලා එන්න. ඔවුන් පිරිමියෙක් රැවුල වැවීම සලකන්නේ අපවිත්‍රකමේ සංකේතයක් හැටියට. එහෙනම් ඒ හැමදෙයක්ම රඳා පවතින්නේ අපි බලන කෝණය මත්තේ බව හොඳටම පැහැදිලිව තියෙද්දිත්, තවදුරටත් ඔබේ රුචිකත්වය, ඔබේ නිදහස සීමා කරගෙන වහලෙක් වගේ ජෙන්ඩර් ස්ටීරියෝටයිප්ස් මත්තේ නැහෙන්න ඕනෙ වගේ ඔබට දැනෙනවද?

අභ්‍යන්තර පෞරුෂත්වය සහ බාහිර සුන්දරත්වය කියන්නෙ දෙකක්. ඔබටවත් මටවත් ඒ දෙක එකම අච්චුවෙන් බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ. ජීවිතය තුළ ඔබේ පැෂන් එක සහ ෆැෂන් එක නිර්ණය කිරීම අයිති ඔබට. ඔබේ සේට් එක අනෙකාගේ සේට් එක විය යුතුයි කියලා සම්මතයක් කොහේවත් නැහැ. අන්න ඒ ටික ඔළුවට පත්තියන් කරගන්න පුළුවන් වෙච්ච දවසට කොම්ඩේවරුනි, ඔබට ඔය උස්සගෙන යන අනුන්ගේ ටැටූ, අනුන්ගේ උඩු රැවුල්, අනුන්ගේ සායවල්, අනුන්ගේ සරම් ආදී සබ්බ සකලමනාවම බිමින් තියලා නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන්කමක් තියේවි. ඒ නිසා අනුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් තමන්ගේ උරහිසේ තියාගෙන ගිහින් නිකරුණේ හන්දිපත් රුදාව හදාගන්නවට වඩා ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි තෝරගන්න එක ඒ ඒ එක්කෙනාගේ රාජකාරිය කියලා හිතට ඒත්තු ගන්වා ගන්න එක වටිනවා.

ප්‍රහර්ෂි පෙරේරා