නිරිතදිග මෝසමෙන් නුවරඑළියට ආපදා

0
21

නිරිතදිග මෝසම් වැසි ඊයේ (01දා) සිට සක්‍රිය වීමත් සමඟ මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (01දා) අලුයම සිට තද වැසි ඇදහැලෙමින් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් ‘මව්බිම’ට පැවැසීය.

තද වැසි පතිතවීමත් සමඟ හැටන් – කොළඹ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල වැසි ජලය පිරී තිබීම නිසා රථවාහන ගමනාගමනයට බරපතළ බාධා එල්ල වූ බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය. අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන, පිටවල යටිබේරිය ප්‍රදේශයේදී හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට ඊයේ (01දා) ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් ඇනහිට තිබූ බව පොල්පිටිය පොලිසිය පැවැසීය.

ප්‍රධාන මාර්ගය අබියස පිහිටි විශාල ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමත් සමඟ මාර්ගය අබියස ඇද තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්ද කඩාවැටීම හේතුවෙන් ඊයේ (01දා) උදෑසන 6 සිට උදැසන 8 පමණ වන තෙක් රථ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්, පොල්පිටිය පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩාවැටුණු ගස සහ විදුලි රැහන් පද්ධතිය ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් විය.

පවතින වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ සහ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් මෙවැනි ආපදා සිදුවිය හැකි බැවින් රිය ධාවනය කිරීමේදී ඒ පිළිබඳව සැලකිමත්ව රිය ධාවනය කරන ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නෝර්වුඩ් – නීටා පත්ම කුමාරි, හැටන් – චන්න අද්දරගේ, වටවල – සී.ඩී.එච්. හේවගේ