දුම්රිය ගැන හොඳින් දන්න වත්මන් සාමාන්‍යාධිකාරි ඉවත් කරන්න එපා

0
16

වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරි වරලත් ඉන්ජිනේරු ධම්මික ජයසුන්දර ඉතා අයුක්තිසහගත ලෙස එම තනතුරින් ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් කටයුතු කරන බවට රාජ්‍ය සේවා ඉන්ජිනේරු සංගමයේ ලේකම් ඉන්ජිනේරු එච්.සී. ජේ. තිලකරත්න ‘මව්බිම’ට පැවැසීය.

දුම්රිය සේවය පිළිබදව අත්දැකීම් බහුලම නිලධාරියකු වන වත්මන් සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කර කිසිදු තාක්ෂණික සහ දෙපාර්තමේන්තු පරිපාලන දැනුමක් හෝ අත්දැකීමක් නොමැති නිලධාරියකු එම තනතුරට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් තිලකරත්න මහතා සඳහන් කළේය.

මේ සිදුකරන්නට යන අවිචාරවත් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තම සංගමය ඊයේ (01දා) විෂය භාර ඇමැතිවරයා හමුවී දැනුවත් කරන ලද බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ලිපියක් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුවත් කරන ලද බවත් හෙතෙම කීය.  දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා රට තුළ පවතින දැවැන්ත බලශක්ති සහ ආර්ථික අර්බුද තත්ත්වයන් මධ්‍යයේ වුවද දුම්රිය දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන යෑමට කටයුතු කර ඇති බවත් වෘත්තීය සමිති මනාව සම්බන්ධීකරණය කරමින් සහ සෘජු තීන්දු තීරණ ගනිමින් ආකර්ෂණීය සේවයක් ලබා දුන් බවත් හෙතෙම කීය.

අත්දැකීම් හා තාක්ෂණික දැනුම රහිත නිලධාරියකු එම තනතුරට පත් කිරීමේදී ප්‍රවාහන අමාත්‍යාංශයට යටි අරමුණක් ඇති බවත් මේ වන විට මගීන් වෙත ලබා දෙන සේවය අඩාල කර රජය මහජනතාව අතර අප්‍රසාදයට පත්කරලීමට කිහිපදෙනෙක් උත්සාහ කරන බවට සැකයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන