ජාතික සාම මණ්ඩලයත් කඩිනම් මැතිවරණයක් ඉල්ලයි

0
22

වැරැදි ආණ්ඩුකරණයෙන් හා දූෂණයෙන් මහා විනාශයකට රට වැටී ඇති තත්ත්වයක් තුළ ජන හද මනසින් අතුගෑවී ඇති ජනවරම වෙනුවට අලුත් ජනවරමක් ලබාගැනීමට මඟ පාදමින් කඩිනම් මහ මැතිවරණයක් රටට ලබාදෙන්නැයි ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ශක්තිමක් වුවද මහජනයා අතර සුජාතභාවය අහිමි කරගෙන ඇති බව ෆිච් රේටින් වැනි ආයතන උපුටා දක්වමින් සඳහන් කරන ජාතික සාම මණ්ඩලය එම නිසා ආණ්ඩුව වහා කළ යුත්තේ විරෝධතාකරුවන් පිටමං කිරීම වෙනුවට ඔවුන්ගේ සුජාත හඬට කන්දෙමින් අර්ථවත් සාකච්ඡාවක් ගොඩනඟා ගැනීම යැයි අවධාරණය කරයි.

එහෙත් ආණ්ඩුව ඒ වෙනුවට සාමාන්‍ය නීතිය යටපත් කොට හදිසි නීතියට මුවා වී පහසුවෙන් බිඳහෙළිය හැකි චෝදනා නඟමින් විරෝධතාවේ ප්‍රමුඛ ක්‍රියාකාරීන් දඩයම් කිරීමට මූලිකත්වය දීම ගැන සිය සංවිධානය දැඩි කනස්සල්ල පළ කරන්නේ යැයි එම නිවේදනයේ සඳහන් වේ.

ජනපති – අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉවත් වන්නැයි බල කරමින් නිරායුද විරෝධතාව දියත් වූයේ මහජනතාව විසින් මහජනතාව වෙනුවෙන් යැයිද එහි ඇති ප්‍රමාණාත්මකභාවයත් බලපෑමත් ගුණාත්මකභාවයත් ගැන ජාත්‍යන්තරිකව දැඩි සැලකිල්ලක් යොමුව ඇතැයිද සාම මණ්ඩලය කියයි.

රටේ ආර්ථිකය බිඳවැටීමට මඟපෑදූ පුද්ගලයන් ගැන වහාම විමර්ශනයක් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.

බිඟුන් මේනක ගමගේ