ජාතික ධනය මැති-ඇමැතිවරුන් හොරකම් කළා කියන චෝදනාව බොරුවක්

0
57

විවිධ බොරු මතිමතාන්තර සමාජගත කරමින්  රට නැවත අසමත් රාජ්‍යයක් කිරීම තුළින් යුද්ධයෙන් දිනාගත නොහැකි අභිලාෂයන් දිනා ගැනීමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණකාරීව උත්සාහ දරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.

පක්ෂ මූලස්ථානයේ 01දා පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඵ“අපිට රට භාරදෙන කොට මහ බැංකුවේ ඩොලර් මිලියන හතයි දශම ගාණක සංචිතයක් තිබුණා කියලා ලොකුවට කිව්වා. මේ රටේ ආර්ථිකය ගැන දන්න හැමෝම දන්නවා එවැනි සංචිතයක් තිබුණට අපිට රට භාර අරගෙන මාස කිහිපයක් ඇතුළත ගෙවන්න ඩොලර් බිලියන හයක පමණ විශාල ණය මුදලක් තිබුණා.

එහෙම බලනකොට ඇත්තටම ඩොලර් බිලියන හතක සංචිතයක් අපේ ආණ්ඩුවට ලැබුණේ නැහැ. අපි රජය භාරගත්ත දවසේ ඉඳලා කොරෝනා උවදුරත් එක්ක සටන් කරන්න සිද්ධ වුණා. 

එදා දිගටම මේ රටේ ආර්ථිකය ගෙනියන්න හදනකොට මේ රට වහන්න කියලා ආපු බලපෑම ඔබ දන්නවා. මේ රට නැවත විවෘත කරන්න කියලා මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණය කළා. විදේශ විනිමය ගෙන එන ආයතන පවත්වාගෙන යන්න උත්සාහ කරද්දී සමාජය තුළින් දැඩි විරෝධතාවක් මතු වුණා. යම්කිසි කල්ලි කණ්ඩායම් විසින් ඇඟලුම් කම්හල් ඇතුළු විදේශ විනිමය ගෙන එන කම්හල් වසා දමන්න කියලා බලපෑම් කළා. ඉතාම ආරක්ෂාකාරී තත්ත්වයන් යටතේ නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න හදපු අවස්ථාවේදී  මේ රටේ සමහර කොටස් ශේ‍ර්ෂ්ඨාධිකරණයට පවා ගිහිල්ලා නඩු දාලා ඒක නවත්තන්න පියවර ගත්තා. 

නැවත නැවත ණය අරගෙන මේ රට ගොඩගන්න බෑ. මේ රටේ ආර්ථික විශේෂඥයෝ කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය මීට පෙරත් ලබාගත්තා කියලා. නමුත් කවදාවත් අපට දෙපයින් නැඟී සිටින්න අවස්ථාවක් ලැබිලා නැහැ. අපේ රටේ අපේ ජනතාවගේ  ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි කියන මතයෙ තමයි අපි පක්ෂයක් හැටියට ඉන්නේ. ඉතින් මේ තත්ත්වය යටතේ  මේ රට බෙදන්න උත්සාහ කරපු මේ රට කඩා බිඳ දමන්න උත්සාහ කරපු විවිධ පාර්ශ්වයන් මේ වනවිට මුදල් පොම්ප කරමින් පවතිනවා. යුද්ධයකින් ජයග්‍රහණය කරන්න බැරි දේ කුමන්ත්‍රණයකින් ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාව හැකියාව ඔවුන්ට පෙනී යන නිසා ඒ අය මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.

මම මේ රටේ ජනතාවගෙන් ආයාචනය කරන්න කැමතියි, ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ පාරට බැහැලා සටන් කරන්න. නමුත් ඔබ ඒ සටන් කරනකොට ඔබත් එක්ක එකට හිටගන්න පුද්ගලයා කවුද කියන එක විමසිලිමත් දෑසින් බලන්න. ඒ පුද්ගලයාගේ පිටිපස්සේ ඉන්න බලවේග මොනවාද කියන එක හරියට අඳුනගන්න. ඒ දේ නොකළොත් මං හිතන්නේ රටක් ජාතියක් හැටියට ඉදිරියට යන්න බැරි වෙයි. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ රටේ තියෙන සල්ලි මේ කියන විදිහට කවුරුත් හොරකම් කරල නෑ. මේ රටේ තියෙන සල්ලි මේ රටේ තියෙන විදේශ විනිමය එහෙම කාටවත් හොරකම් කරන්න හැකියාවකුත් නැහැ.”

පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න,

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමේදීම සඳහන් කරනවා එතුමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා තමයි මේ තීන්දුවට එන්නෙ කියලා. ඒ මොහොත වනවිටත් මං කතා කරන මේ අවස්ථාව වනවිටත් අපේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබුණේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගන්න පාර්ලිමේන්තු අභ්‍යන්තර ඡන්ද විමසීම වෙනුවෙන් අපේක්ෂකයකු පොදුජන පෙරමුණෙන් නිල වශයෙන් ඉදිරිපත් කළා නම් සර්වපාක්ෂික කියන සංකල්පය ඒ මොහොතේම බිඳ වැටෙනවා. අපි මූලික වශයෙන්ම මේ කාරණාව පිළිබඳව කල්පනා කළා. මේ මොහොත වනවිට අපි ඉන්නේ පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රවලින් බැහැරට ගිහිල්ලා ජාතික න්‍යාය පත්‍රයක  ජාතික අභිලාෂයන් වෙනුවෙන් වැඩ කළ යුතු මොහොතක.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ මොහොතේදී පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයකට නැඹුරුවීමේ අවම ප්‍රවණතාව දක්වන නායකයා. පාර්ලිමේන්තු සංයුතිය දිහා බලද්දී මේ කරුණ පැහැදිලි කරගන්න පුළුවන්. තමන්ගේ පක්ෂය තමන්ගේ හිතෛෂීන් සහ තම කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කිරීමෙන් බැහැරට ගිහිල්ලා පොදු ජාතික අභිලාෂයන් වෙනුවෙන් තමන්ගේ පූර්ණකාලීන මැදිහත්වීම සඳහා වන වැඩපිළිවෙළ තමයි අපි එතුමන්ගෙන් ඉතාම පැහැදිලිව ඉල්ලා සිටින්නේ. ඒ හැර වෙනත් කිසිදු ඉල්ලීමක් පෞද්ගලික මට්ටමෙන් අප  එතුමන්ගෙන් ඉල්ලලත් නැහැ. ඉල්ලන්න අපේක්ෂා කරන්නෙත් නෑ. සියලු පාර්ශ්වයන්ට මේ මොහොතේදී මේ වැඩපිළිවෙළ සමඟ එකතු වන්න පුළුවන්.”

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය