චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාවට හම්බන්තොටට එන්න අවසර

0
38

එළැඹෙන අගෝස්තු මස 11 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත YUAN WANG 5 නමැති චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබුණද එම නෞකාවට හම්බන්තොට වරායේ දින 5ක් නැංගුරම් ලෑමට මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය හිමි වී තිබේ.

ඒ චීන නෞකාවට අවශ්‍ය මූලික පහසුකම් ලබාගැනීම සඳහාය.

ඉකුත් 13 වැනිදා චීනයේ පියැංඉන් වරායෙන් ගමන් ආරම්භ කර ඇති මෙම නෞකාව මේ වන විට නැඟෙනහිර චීන මුහුදේ තායිවානයට ආසන්නයේ යාත්‍රා කරමින් තිබෙන බව වාර්තා වේ.

චීනයේ නිෂ්පාදිත නවීනතම විශේෂ  යාත්‍රා කිහිපයකින් එකක් වන YUAN WANG 5 නෞකාව අභ්‍යවකාශ චන්ද්‍රිකා දත්ත හා අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල දත්ත ලබාගැනීමේ මෙහෙයුම් සඳහා භාවිත කරන නෞකාවක් බවද වාර්තා වේ.

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණෙන මෙම යාත්‍රාව අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලය තුළ ඉන්දියන් සාගරයේ වයඹ දිග මුහුදේ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ පර්යේෂණ කටයුතුවල නිරත වනු ඇත.  මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් චීන රජය හා ඉන්දියානු රජය අතර මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.

චීන නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර දීම සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී  ලංකා රජය වෙත වාචිකව අප්‍රසාදය පළ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මීට ප්‍රතිචාර දක්වන චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ තමන් කරන නීත්‍යනුකූල සමුද්‍ර ක්‍රියාකාරකම් සඳහා ඉන්දියාව මැදිහත් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

කීර්ති මෙන්ඩිස්