ගෝඨාභය දේශපාලනය කරන්න කැමැති නම් අවස්ථාව දෙන්න පොහොට්ටුව ලෑස්තියි

0
23

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමෙන් කොටසක් නැවත පක්ෂය හා එක්වීමට කැමැත්ත පළකර ඇතැයි පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලංකාවට පැමිණීමට කිසිදු බාධාවක් නැතැයිද ඔහු ලංකාවට පැමිණ දේශපාලනයේ නිරත වීමට කැමති නම් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ඔහුට අවස්ථාව ලබාදීමට සූදානම් බවද ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පැවැසුවේය.

ස්වාධීන වූ මන්ත්‍රිවරු පිරිසෙන් කණ්ඩායමක් සමඟ පසුගිය දිනවල සාකච්ඡා කළ බවද ඔවුන් නොමඟ ගොස් වෙනත් කණ්ඩායමක් සමඟ එකතු වුණු බවට එම සාකච්ඡාවේදී තේරුම්ගෙන නැවත පක්ෂය හා එක්වීමට කැමැත්ත පළකළ බවද සාගර කාරියවසම් මහතා කීය.

ඊට අමතරව එම ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමේ තවත් පිරිසක් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවද එම පිරිසෙන් කොටසක්ද ඉදිරියේදී නැවත පක්ෂය සමඟ එක්වනු ඇතැයිද පොදුජන පෙරමුණු ලේකම්වරයා කීය. තම පක්ෂයෙන් ස්වාධීන වූ කුඩා කල්ලි අතර කුමන්ත්‍රණකාරීන් පිරිසක්ද සිටින බවද ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම ඉදිරියේදී පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොදුජන පෙරමුණු ලේකම්වරයා පැවැසීය.

ඒ අනුව පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායමේ කොටසක්ද සමඟින්, ශක්තිමත්ව ඉදිරි කටයුතු සිදුකිරීමට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවද සාගර කාරියවසම් මහතා කීය. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (1දා) එක්වෙමින් සාගර කාරියවසම් මහතා මෙසේ කීය.  

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය