කෝටාවෙන් දෙන තෙල් බිංදුව කොළඹ ගිහින් එන්නවත් මදි!

0
28

ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් ලොරි රථ හිමියෝ හා රියැදුරෝ ඊයේ (01දා) පෙරවරුවේදී ඇඹිලිපිටිය උඩගමදී විරෝධතාවක් පැවැත්වූහ. ඇඹිලිපිටියේ සිට කොළඹ බලා එළවළු, කෙසෙල්  ඇතුළු පලතුරු හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ

ප්‍රවාහනය කරන ලොරි මේ සඳහා එක්ව තිබිණි. ඔවුහු තම ලොරි උඩගම, ඇඹිලිපිටිය, රත්නපුර මාර්ගයේ එක් පසක නතර කර මෙම විරෝධය දක්වන්නට වූහ.

ඔවුන් කියා සිටියේ ඇඹිලිපිටිය හා ඒ අවට සිට කොළඹ බලා ලොරි රථ ධාවනය කිරීම සඳහා කිසිසේත්ම මෙම ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවයි. කුඩා ලොරි රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණයම විශාල ලොරි රථවලටත් ලබාදීම හාස්‍යයට කරුණක් බවද ඔවුහු කියති.

එබැවින් කොළඹ ගොස් ඇඹිලිපිටියට නැවත ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයවත් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට සන්දේශයක් භාරදීම සඳහා විරෝධතාකරුවෝ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගමන් කළහ. එසේ කළත් මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉතාමත් ඉක්මනින් වලවේ ගොවීන්ද එක්ව ඇඹිලිපිටිය නගරයේ විරෝධතාවක් පවත්වන බවද විරෝධතාකරුවෝ කීහ.

ඇඹිලිපිටිය _ රූපසේන පත්තුව