කොවිඩ් යළි පැතිරීමට ඉඩදීම ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමක්

0
30

මුළු රටම අඩපණ කළ කොවිඩ් වයිරසයට ගියවර පැතිරීමට ඉඩ දුන් සේම මෙවරද නිදැල්ලේ පැතිරීමට ඉඩදී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු කලාපීය උපදේශක, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවැසීය.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වයිරසයට මේ වන විට නිදැල්ලේ යෑමට ඉඩදී බලා සිටීම ඉදිරියේදී රටේ ජන ජීවිත ඇතුළු සියලු ක්‍ෂේත්‍ර නැවත අනතුරුදායක තත්ත්වයකට පත් කිරීමක් බවය. වර්තමානයේ පවතින තත්ත්වය අනුව එය ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමක් බව ‘මව්බිම’ කළ විමසීමකදී අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම පෞද්ගලික රෝහල්වලදී මුදල් ලබාදී කරගන්නා පරීක්ෂණ හරහා රෝගීන් සුළු වශයෙන් වාර්තා වුවත් රජයේ රෝහල් එම පරීක්ෂා නොකිරීම මත දැනට රෝගීන් වැඩිපුර වාර්තා නොවන සේම දැනට මරණ සංඛ්‍යාවද සුළු වශයෙන් වාර්තා වීම මත මෙම වසංගත තත්ත්වය වැඩි සැලකිල්ලට භාජන කර නොමැති බවත් නිහාල් අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් කොවිඩ් වයිරසයට නිර්දේශ කළ තුන්වැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට රෝගය ඔරොත්තු දීමේ හැකියාව පැවැතීම රටක් වශයෙන් ඉතා වැදගත් කාරණයක් බවද ඔහු පෙන්වා දුන්නේය. එම නිසා ඉදිරියේදී රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමට ඉඩකඩ විශාල බවත් ඊට හේතුව ඉන්ධන ප්‍රශ්නය සමඟ රටේ පොදු ප්‍රවාහනය දැඩි අර්බුදයක පැවැතීමත්, අධික මගී ධාරිතාවක් යොදා බස් හා දුම්රිය ධාවනය කිරීම බවත්  වෛද්‍යවරයා වැඩිදුරටත්  පැවැසීය.

අනුරාධා හේරත්