උකසින් බේරාගත් රන්බඩු බැංකුව තුළදීම සොරාගෙන

0
30

මැදවච්චිය උකස් මධ්‍යස්ථානයකින් සොරාගත් රුපියල් ලක්ෂ 8ක රන් භාණ්ඩ තොගයක් සහ සැකකරුවෙක් මැදවච්චිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ  අඹගහවැව, පිහිඹියගොල්ලෑව ඩී. නිහාල් අබේවර්ධන නමැති 55 හැවිරිදි දෙදරු පියෙකි.

29 වැනි දින මැදවච්චිය නගරයේ පෞද්ගලික රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක උකස් කර තිබූ රුපියල් ලක්ෂ 8 හමාරක් වටිනා රන් භාණ්ඩ තොගයක් රන් භාණ්ඩ හිමිකරු විසින් නැවත බේරා ගැනීමට පැමිණ ඇත. එහිදී අවශ්‍ය මුදල් ලබාදී උකස බේරා ගත් රන් භාණ්ඩ හිමිකරු හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් එම භාණ්ඩ ලබා දෙනතුරු සිටීමට නොහැකිව පසුව ලබා ගැනීමට පැමිණෙන බව කළමනාකාරිත්වයට පවසා එම උකස් මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව කාර්ය මණ්ඩලයේ අවධානය මත සේප්පුවට නොදමා උකස් මධ්‍යස්ථානය ඇතුළත මේසය මත තිබූ රන් භාණ්ඩ තොගය එක්වරම එම ස්ථානයෙන් අස්ථානගතව ඇත. ඒ පිළිබඳ කලබලයට පත්වූ උකස් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය මැදවච්චිය පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිස් ස්ථානාධිපති ආර්. එම්. අයි. බී රත්නායක මහතා එම ස්ථානයට පැමිණ සී. සී. ටී. වී. දර්ශන අනුව රන් භාණ්ඩ සොරාගත් සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.

එහිදී ඩී. නිහාල් අබේවර්ධන නමැති 55 හැවිරිදි  සැකකරු විසින් උකස් මධ්‍යස්ථානයේ පිටත සිට රන් භාණ්ඩ තිබූ මේසය මතට  අත දමා එහි තිබූ රන් භාණ්ඩ තොගය සොරාගෙන ඇති බව සී. සී. ටී. වී. දර්ශනවලින් හඳුනාගෙන ඇත. අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික විමර්ශන හමුවේ සැකකරුගේ ගෙවත්තේ සූක්‍ෂ්ම ලෙස වළ දමා තිබූ සොරා ගත් රන් මාල 03ක්, අත් පලඳනා 02ක් සහ මුදු 01ක් යන රන් භාණ්ඩ තොගය සොයා ගැනීමට මැදවච්චිය පොලිසියට හැකි විය. සැකකරු මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගරගත කර ඇත.

මැදවච්චිය – ගයාන්