ඇඟලුම් ඇණවුම් 40%කින් අඩු වෙලා

0
16

රට තුළ පවතින අස්ථාවර භාවය හේතුවෙන් ඇඟලුම් ක්‍ෂේත්‍රය වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය සියයට 40කින් පමණ අඩු වී ඇති බවත් නුදුරේදීම ඇඟලුම් ක්‍ෂේත්‍ර කඩා වැටීමකට ලක්වීමට ඉඩ ඇති බවත් නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිස් පහකින් පමණ අඩුවී ඇති බවත් මේ හේතුවෙන් නියමිත දිනට ජාත්‍යන්තර ඇඟලුම් ඇණවුම් ලබාදීමට නොහැකි වී ඇති බවත් හෙතෙම කීය.

රට තුළ ස්ථාවරත්වයක් ගොඩනැඟීමට හා ඇඟලුම් ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා විස¾දුම් ලබාදීමට රජය අපොහොසත් වන්නේ නම් අගෝස්තු මාසය අවසානය වන විට ඇඟලුම්හල් රැසක් වැසී යනු ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා ගණනාවක් සේවකයන් සඳහා වැටුප් ගෙවීමට නොහැකිව මේ වන විටත් වසා දමා ඇති බවත්  ඔහු පැවැසීය.

මෙම තත්ත්වය මත ඇඟලුම් කර්මාන්තය බිඳවැටුණහොත් රැකියාවල නිරත වී සිටින ශ්‍රමිකයන් තුන්ලක්ෂ පනස් දහසක් සහ වක්‍ර රැකියාවල නිරත වී සිටින මිලියනයකට අධික පිරිසකට තම ආදායම් අහිමිවීමේ අවදානමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන