ආදරය ඇතුළෙන් දැනෙන පීඩනය අඩු කරගන්නේ කොහොමද? Controlling pressure your love affair

0
79

දිනක් තරුණයෙක් දුරකථනයෙන් මා අමතා ඔහුට මා හා පැවැසීමට ගැටලුවක් ඇතැයි පැවැසුවා මෙන්ම ඔහුට ඒ සඳහා මගෙන් යම් උපදෙසක්ද අවශ්‍ය බව පවසා සිටියා. මේ තරුණයා සිටියේ විශාල මානසික පීඩනයකින්. ඔහු මාස කිහිපයක් පුරා තරුණියක සමඟ පෙමින් බැඳී ඇති බවත් ඇය දැන් ඔහුව නොසලකා හරින බවත් ඔහු මා හා සමඟ පැවැසුවා. ඇය හා ඔහු හමු වූ මුල් කාලය ඔවුන් ඉතා ආදරයෙන් ගත කළ බවත් ඔහු ඇය වෙනුවෙන් බොහෝ දේ කැප කර ඇති බවත් ඔහු වේදනාවෙන් පවසා සිටියා.

මේ තරුණිය හා තරුණයා මේ වන තෙක්ම ඔවුනොවුන් මුණගැසී තිබුණේ නැහැ. ඔවුන් එකිනෙකා හඳුනාගෙන තිබුණේද මුහුණු පොත හරහා. මේ කාලය තුළ මෙම තරුණයා සිය පෙම්වතිය වෙනුවෙන් බොහෝ සිට මුදල් වියදම් තිබුණා. නමුත් මෙම තරුණියට තම පෙම්වතා මුණගැසීමට කිසිදු අවශ්‍යතාවක් නොවූ බවයි තරුණයා වේදනාවෙන් පවසා සිටියේ. ඔහු ඇයට දැඩි සේ ආදරය කරන බවත් ඇය අමතක කිරීම පහසු කරුණක් නොවන බවත් ඇය වෙනස් කර ගැනීමට තමන් කළ යුත්තේ මොනවාද යන්නත් ඔහු මගෙන් දිගින් දිගටම විමසා සිටියා.

සැබැවින්ම මෙවැනි සබඳතා තුළ අප අපේ ජීවිතය  සිර කර ගත යුතුද? කිසිසේත්ම නැත. අප ආදරය කරනුයේ අපගේ ජීවිත සතුටින් පුරවා ගනු පිණිසය. එසේනම් අප අපේ ආදර සබඳතාව කොතරම් ශක්තිමත්ද? එය කොතරම් යහපත් සබඳතාවක්ද යන්න පිළිබඳව සැමවිටම අවධානය යොමු කළ යුතුය. සැබෑ ආදරයක් ඇති පෙම්වතුන් දුරකථන සංවාද කෙටි පණිවුඩවලට අමතරව ඔවුනොවුන් නිතර මුණගැසීම බෙහෙවින් ප්‍රිය කරනවා. එකිනෙකා මුණගැසීමට සැලසුම් කරනවා. තම පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා. එපමණක් නොව එකිනෙකා මුණගැසීම, සෙනෙහසින් මොහොතක් ගත කිරීම, ජීවිතයේ වටිනා සහ වැදගත් අවස්ථාවක් බවට පත්කර ගන්න බැවින් ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා ඔබ හමුවීම  ප්‍රතික්ෂේප කරයි නම් හෝ එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට එතරම් වැදගත් දෙයක් නොවන බව ඔබට හැඟේ නම් ඔබේ ආදර සබඳතාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු වන්න.

මිනිසුන් වන අපට අපේ ජීවිත කාලය තුළ විවිධ ගැටලු පැනනඟිනවා. ආර්ථික අපහසුතා, රැකියාව සම්බන්ධ ගැටලු, රෝග පීඩා සහ සමාජ සබඳතා ආශ්‍රිත ගැටලු ආදී නොයෙක් ගැටලුවලට වරින්වර අප මුහුණ දෙනු ලබනවා. අපගේ ජීවිත කිසිවිටෙක එක සේ ගලා යන්නේ නැහැ. මෙසේ අප ජීවිතයේ යම් යම් ගැටලුවලට මුහුණ දෙනවිට පෙම්වතා හෝ පෙම්වතිය අපට ශක්තියක් රැකවරණයක් ලෙසින් අප ළඟින් හිඳීම ගැටලුවලට මුහුණදීමට විශාල රුකුලක්. එබැවින් ඔබේ ගැටලුවලදී ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබ මඟහැර යනවා නම් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු වනවා. ඔහුගෙන් හෝ ඇයගෙන් ඔබට ප්‍රමාණවත් උපකාරයක් හෝ අස්වැසිල්ලක් නොලැබේ නම් ඔබේ සබඳතාව ශක්තිමත් සබඳතාවක්ද යන්න සැක සහිතයි. එබැවින් ඔබ ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා.

ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබේ ගතිගුණ, චරිත ලක්ෂණ, ආකල්ප සහ ඔබේ කුසලතා පිළිබඳව දැනුවත්ද? මනෝ විද්‍යාත්මක උපදේශනය සඳහා යොමුවන ඇතැම් පුද්ගලයන් මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුනට තම පෙම්වතිය හෝ පෙම්වතා තුළ පවතින ආකල්ප සහ ඔහුගේ කුසලතා හෝ දුබලතා පිළිබඳව මනා වැටහීමක් ඇත්තේ නැහැ. සාර්ථක සහසම්බන්ධතාවක් සඳහා තම ජීවිතයේ කොටස්කරු හෝ කොටස් කාරියගේ ගති ලක්ෂණ, රුචි අරුචිකම් දැන සිටීම ඉතා වැදගත්. එමෙන්ම ඔහු හෝ ඇය ඔබේ කුසලතාවන් අගය කරනවාද? ඔබව දිරිමත් කරනවාද යන්නද සාර්ථක සහසම්බන්ධතාවක් සඳහා ඉතාමත් වැදගත්. එබැවින් මෙම ලක්ෂණ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය තුළ තිබේදැයි වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා.

මිනිසුන් වන අප තරුණ වියට එළැඹෙන විට අපගේ පෞරුෂයේ සැලකිය යුතු ප්‍රමාණයක් වර්ධනය වී අවසන්. අපගේ ආකල්ප සිතුම් පැතුම් යම් ස්ථාවර මට්ටමකට පත් වී අවසන්. එහෙයින් ඔබට අවශ්‍ය නම් මිස තවෙකෙකුට ඔබ වෙනස් කිරීම එතරම් පහසු කටයුත්තක් වන්නේ නැහැ. එබැවින් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය “ඔබ ඔබ ලෙස” පිළිගැනීමට සූදානම්ද යන්න පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඔහුට හෝ ඇයට අවශ්‍ය පරිදි වෙනස් වීමට නිතර නිතර ඔහු හෝ ඇය ඔබට බල කරයි නම් එම සබඳතාව ඔබේ මනසට කොතරම් හානිකර අයුරින් බලපානවාද යන්න පිළිබඳ  විශේෂයෙන් සැලකිලිමත් වන්න. සාර්ථක හා ශක්තිමත් ආදර බැඳීමකට එය ධනාත්මක ලකුණක් වන්නේ නැහැ.

සාර්ථක ආදර සබඳතාවක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාවයි. ඕනෑම බැඳීමක ගැටලු ඇතිවීම ස්වාභාවික තත්ත්වයක්. ඇතැම් ගැටලුවලට විස¾දුම් සෙවිය යුතු අතර ඇතැම් ගැටලු නිරායාසයෙන්ම විසඳී යනවා. වඩාත් වැදගත් වන්නේ ඔබ දෙදෙනා තුළ ගැටලු විසඳා ගැනීමට සහ ඒවාට මුහුණ දීමට ඇති කුසලතාවයි. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය යම් ප්‍රශ්නයක් ඇති වූ විටක එය දිගින් දිගටම ගෙන යයි නම් දිගින් දිගටම අමනාපකම් පවත්වාගෙන යයි නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. එය සාර්ථක බැඳීමකට බාධාවක් වීමේ හැකියාව ඉතා ඉහළයි.

ඉහත කරුණු පිළිබඳව නිසි ලෙස ඔබේ අවධානය යොමුකොට බලන්න. ඔබට ඇත්තේ සාර්ථක ආදර සබඳතාවක්ද? එසේත් නැතහොත් ගැටලුසහගත සබඳතාවක්ද යන්න පිළිබඳ නිසි ලෙස අවබෝධ කරගැනීමට ඔබට නිරායාසයෙන්ම හැකියාව ලැබේවි.

අරෝෂා මේදිනී දසනායක

 උපදේශන මනෝවිද්‍යාඥ