අරගල භූමියේදී හිතවත් වී විශ්‍රාමික ගුරුවරියගේ රන් බඩුවලට විදී

0
14

විශ්‍රාමික පාසල් ගුරුවරියක් සමඟ ගාලු මුව‍ෙදාර අරගල භූමියේදී හිතවත් වී ඇය සතු රන් මුදු දෙකක් හා වළලු දෙකක් සමඟ අතුරුදන් වූ පුද්ගලයකු පිළිබඳ මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. පැමිණිලිකාරිය ගාලුමුව‍ෙදාර පිහිටි අරගල භූමියට පැමිණි අවස්ථාවේ එම අරගල භූමියේ සිටි අයකු සමඟ කතාබස් කර හඳුනාගෙන තිබේ. ඔහුද ගුරුවරයකු බව ඇයට පවසා ඇති බවත් එසේ හඳුනාගත් හිතවතා පසුව විශ්‍රාමික පාසල් ගුරුවරියව මිනුවන්ගොඩ නගරයේදී යළි හමු වී තිබේ.

ඇය පැලඳ සිටින රත්රන් මුදු දෙක සහ රත්රන් වළලු දෙක ගැන අවධානය යොමු කළ හිතවතා ඒවා පැරැණි මෝස්තරයට අයත් හෙයින් නව විලාසිතාවන්ට සකසා ගන්නා ලෙස එහිදී ගුරුවරියට පවසා ඇති බව පොලිසිය පවසයි. අවශ්‍ය නම් නව විලාසිතාවන්ට සකසා දිය හැකි බවත් ගුරුවරියට පවසා ඇත.

හිතවත්කම් පෑ වංචනිකයාට හසු වූ ගුරුවරිය ඇය පැලඳ  සිටි රන් මුදු දෙක සහ රන් වළලු දෙක නව විලාසිතාවන්ට සකසා ගැනීම සඳහා හිතවතාට ලබාදී ඇත. පසුව රන් භාණ්ඩ රැගෙන ගිය හිතවතාගෙන්් තොරතුරක් නැති හෙයින් ඇමැතුමක් දුන්නද දුරකථනය විසන්ධි වීමෙන් අනතුරුව තමා වංචාකාරයකුට හසුවී ඇති බව තේරුම්ගත් විශ්‍රාමික පාසල් ගුරුවරිය මිනුවන්ගොඩ පොලිසියට පැමිණ ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල