සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්

0
323

අවශ්‍ය තරම් සහල් රට තුළ දැනට තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (අගෝස්තු 1) දින රැස්වන අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

අද (අගෝ: 1) පෙරවරුවේ කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව ය.

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර සහල් ආනයනය කිරීමට රජය විසින් ලබා දෙන ලද අවසරය මත රටට අවශ්‍ය තරම් සහල් ආනයනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

එමෙන් ම, එම අවසරය මත සහල් ආනයනකරුවන් ඇති තරම් තොග ගබඩා කර ඇති බවට තොරතුරු ද ලැබී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.

යල කන්නයේ වී අස්වනු නෙලන අවස්ථාව වනවිට සහල් තවදුරට ත් ආනයනය කිරීම මගින් ගොවීන් විසින් වගා කරන ලද වී කුණු කොල්ලයට ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් මිල දී ගන්නා තත්ත්වයකට පත්වීම සහ ඉමහත් දුෂ්කරතා මැද තමන් වගා කළ වී අස්වැන්නට උචිත මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් කලකිරීමට පත්වීම වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

ඒ අනුව, ලබන දෙසැම්බර් මාසය වන තෙක් සහල් ආනයනය අත්හිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

අමරවීර මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ, සහල් ආනයනය නතර කිරීමෙන් රට තුළ ඉතිරිවන විදේශ විනිමය ප්‍රමාණය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා වන යෙදවුම් වන වල්පැළ නෙළන යන්ත්‍ර, බීජ ඉසින යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ, වතුර මෝටර්, වැනි යෙදවුම් මිල දී ගැනීම සඳහා භාවිත කිරීමට රජයට යෝජනා කරන බව ය.