රටේ ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම ගැන රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

0
349

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට අගෝස්තු මස අවසන් වන විට එළැඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

The Wall Street Journal සමග ඊයේ (ජූලි 31) පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, එකඟතාවකට එළඹීමෙන් පසුව ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග තවදුරට ත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව ය.

කෙසේ වෙතත්, අරමුදල් ලබා ගැනීම සඳහා ඕනෑ ම ආකාරයේ මූලික ගිවිසුමකට එළඹුණ ද ඊට IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වනු ඇති බව ත් එය මාස ගණනක් ගත විය හැකි ක්‍රියාවලියක් බව ත් ඔහු එහිදී පෙන්වා දී තිබේ.

අස්ථාවර දේශපාලන තත්ත්වය නොවන්නට ජූලි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට තිබුණු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

“මම හිතන්නේ අපි දැනටමත් පතුළට ම වැටිලා ඉවරයි. මට උමග කෙළවරේ ආලෝකය පේනවා. ඊට කෙතරම් ඉක්මනට ළඟා විය හැකි ද යන්න තමයි දැන් තියෙන්නේ.”

ඉහළ ගිය උද්ධමනය, ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් සඳහා දිගු පෝලිම්වල නිර්මාණය වීම හේතුවෙන් පීඩා විඳින බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් දැකීමට මාස කිහිපයක් ගත වනු ඇති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමක් ඇති වූ පසු, විවිධ ප්‍රවේශ මගින් ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීමට රටට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

පවතින උග්‍ර ඉන්ධන හිඟය සමනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන ආනයනය කිරීම සඳහා මුදල් සොයා ගැනීමට මහ බැංකුව විශ්වාසයෙන් පසු වූ බව වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ, IMF ගිවිසුම්ගත වුව ද ඉන්ධන, ආහාර සහ පොහොර වැනි ප්‍රධාන ආනයන සිදු කිරීමට ලබන වසරේ වෙනත් මූලාශ්‍රවලින් ඩොලර් බිලියන 3කට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගත යුතු බව ය.

සැම්බියාවේ සිදු වූ ක්‍රියාවලිය පිළිබඳව අවධානයෙන් සිටින බව වික්‍රමසිංහ මහතා The Wall Street Journal සමග වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසර දෙක තුළ, වසංගතය අතරතුර රටවල් 20ක කණ්ඩායමක් විසින් සංවර්ධනය කරන ලද චීනය ද සම්බන්ධ වූ සැලැස්මක් යටතේ සැම්බියාව ඩොලර් බිලියන 17ක විදේශ මුදල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනය වී ඇත.