සියලුදෙනා එකතු නොවී ජනතා ප්‍රශ්න විසඳන්න බෑ

0
16

තමා ජනපතිකම භාර ගත්තද රටේ පවතින ආර්ථික පීඩනය අඩු වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ පැවති ආර්ථික පීඩනය, දේශපාලන විපර්යාසයක් බවට පත්වී තමා ජනාධිපති ලෙසත් දිනේෂ් ගුණවර්ධන අගමැති ලෙසත් පත් වූයේ ආර්ථික අර්බුද හේතුවෙන් ඇතිවූ විපර්යාසය නිසා මිස වෙන හේතු නිසා නොවන බවද හෙතෙම කීය.

ජනතා ප්‍රශ්න විසඳමින් රට ගොඩනැඟිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනැඟීමට එක්වන ලෙස සියලු පක්ෂවල මහජන නියෝජිතයන්ට ආරාධනා කළේය.

පක්ෂ දෙකකට සීමා නොකොට සියලු දෙනා ඒ සඳහා එක්කර ගතයුතු බවත් නිහඬව නොසිට රටේ සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කර දී රට ගොඩනැඟීමේ නව වැඩපිළිවෙළ ගමට ගෙන යෑමට කණ්ඩායමක් ලෙස එක්විය යුතු බවත් ජනාධිපතිතුමා කීය.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඉකුත්දා (30) මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරු, හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරු අතර පැවැති හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

 “මම අද ජනාධිපති හැටියට සම්ප්‍රදායානුකූලව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සහ මහ නායක ස්වාමීන් වහන්සේලාගේ ආශීර්වාද ලබා ගැනීමට මහනුවරට පැමිණියා. අපේ මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේ එතනදී ලබාදුන් උපදෙස්වලට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

මේ වැඩකටයුතු අවසන් කරලා මෙතන දී විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙත් එක්සත් ජාතික පක්ෂයෙත්, ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රිවරුන් මුණගැහෙනවා. ඒක සම්ප්‍රදායක දෙයක් නොවේ. සම්ප්‍රදාය කියන්නේ දෙපැත්තම වාද කරනවා. කාටවත් ඉඩ දෙන්නේ නැහැ. සමහරවිට පොඩ්ඩක් හැප්පෙන ගතියකුත් තියෙනවා. ඒත් මේකයි අලුත් දේ. අද මේ හැම කෙනාම මෙතන වාඩි වෙලා ඉන්නවා. අන්න ඒකයි වෙනස. ඇයි ඒ වෙනස ඇතිවුණේ. මේ රටේ විශාල ආර්ථික පීඩනයක් ඇති වුණා. ඒ පීඩනයෙන් දේශපාලන විපර්යාසයක් ඇති වුණා. ඒ විපර්යාසයෙන් මම ජනාධිපති වුණා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැති වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉවත් වුණා. ඒ විපර්යාසය වුණේ ආර්ථික හේතු නිසා. වෙන හේතු නිසා නොවේ. තෙල් නැති වුණා. පොහොර නැති වුණා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. එතනින් ඒ පීඩනය පිපුරුණා.

මේ ඇති වුණ උද්ඝෝෂණවලට, අරගලවලට අපි බලාපොරොත්තු නොවුණ විධියට වෙනත් සංවිධාන ඇවිල්ලා අරගලය මුවාවෙන් වෙනත් වාසි ලබාගත්තා.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් පුච්චන එක, පොත් පුච්චන එක, හිට්ලර්ගෙන් ඉගෙන ගත්ත එකක්. එල්ටීටීඊය කළේ වෙඩි තියන එක, බෝම්බ ගහන එක පළමුවැනි වතාවට අපිට ෆැසිස්ට් කණ්ඩායමක් එක්ක සමහර සිවිල් සංවිධාන සියල්ල එතනට ආවා. විශාල කැලඹීමක් ඇති වුණා. එතනින් පස්සේ තමයි මම ජනාධිපතිකම භාර ගත්තේ.

මම ජනාධිපතිකම භාරගත්තට මේ රටේ තිබෙන ආර්ථික පීඩනය නැති වෙලා නැහැ. ජනතාවට තිබෙන ප්‍රශ්න ඒ විධියටම තිබෙනවා. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වන එක, රැකියා නැති එක, අද සංවර්ධනයට ප්‍රාග්ධන මුදල් නැති වෙන එක, මේ හැම එකක්ම මේ ගම්මානවල තිබෙනවා. මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අපි වැඩි කරනවාද? අඩු කරනවාද? කියලා හිතන්න ඕන. ඒ සඳහායි ඔබ සියලුදෙනා මෙතැනට පැමිණ තිබෙන්නේ. අපේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය දිහා බැලුවහම මේක තවත් වැටුණොත් රටක් නැති වෙනවා.

මේ අවුරුද්දේ අපේ ආර්ථිකය දළ දේශීය නිෂ්පාදනය 7%කට අඩු වෙලා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. එන අවුරුද්දේ අපි ගන්න පියවර නිසා ඒක 3%කින් වැඩි වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ අපිට පුළුවන් 1%ක අතිරික්තියක් ලබා ගන්න. අපේ උද්ධමනය වැඩි වෙනවා. මේවා කියන්නේ කවුරුත් බය කරන්න නොවේ. මේවට විසඳුම් සොයන්න තියෙන්නේ. ඒ විසඳුම් තුළින් තමයි අපිට අලුත් දේශපාලනයකට එන්න පුළුවන්.

විසඳුම් සොයන්නේ නැතිව පරණ සටන් පාඨ කියලා හරියන්නේ නැහැ. දැන් සමහරු කියනවා මේ ආර්ථික අර්බුදය ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර ගෙනාවේ නැති නිසා කියලා. අපේ පක්ෂයෙන් කියනවා මේ තත්ත්වය ඇති වුණේ අයිඑම්එෆ් එකට වේලාවට ගියෙ නැති නිසා කියලා. පොදුජන පෙරමුණෙන් කියනවා මේක ඇති වුණේ මේ ආණ්ඩුව විතරක් නොවේ. ඊට පෙර පැවති ආණ්ඩුවත් විශාල ණය ගත්ත නිසා කියලා. මම අහන්නේ මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා. අපි මේවා ගැන වාද කරනවද?  නැත්නම් වැඩ කරනවද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොහොර ගෙනාවේ නෑ කියලා වාද කලාට මොකද වෙන්නේ. එක පොහොර නැවක් ගේනව නම් කරුණාකරලා වාද කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අයිඑම්එෆ් එකට ගියේ නැහැ කියලා වාද කරනවා එක තෙල් නැවක් එනව නම් වාද කරන්න. යහපාලන ආණ්ඩුව නිසා මේ ණය බර වැඩි වුණේ කියලා වාද කරලා ඩොලර් මිලියන 50ක් ගන්න පුළුවන්නම් වාද කරන්න. මේ එක වාදයකින්වත් රට දියුණු වෙන්නේ නැහැ මේවා දැන් වෙලා ඉවරයි.

අපේ මූලික කාලය යෙදවෙන්නේ මේ ප්‍රශ්න ගැන වාද විවාද කරන්නද? නැත්නම් මේවට විසඳුම් සොයන්නද? සමහරු කියනවා පෙළපාළි යනවා කියලා. රනිල් ගෙදර යන්න කියලා. කරුණාකරලා ඒක කරන්න එපා. මට යන්න ගෙයක් නැහැ. ඔගෝල්ලෝ ලෑස්ති නම් විශාල සෙනඟක් ගේන්න මාස 06ක් ඇතුළත මගේ ගෙදර හදලා දෙන්න.

මගේ ගෙදර හදලා මම ගියායින් පස්සේ ගෙදර පහු කරලා යන්න රනිල් ගෙදර යන්න කියලා නැත්නම් වැඩක් නෑනේ ගෙදරක් නැති මිනිහට ගෙදර යන්න කියන එක නිකන් කාලේ නාස්ති කරන එකක්නේ. ගම හදන්න නැත්නම් මගේ ගෙදර හදන්න ඒ දෙකින් එකක් කරන්න. රනිල් ගෙදර යන්න කියන්න එපා.

අපි ඉන්නේ පැරණි දේශපාලනයේ. අරයට ඇඟිල්ල දික් කරනවා. මෙයාට ඇගිල්ල දික් කරනවා. මේකෙන් උද්ධමනය අඩු වෙනවද? මේකෙන් දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවද? අපිට දැන් මුදල් හොයන්න තියෙනවා ඉන්ධන ලබා ගන්න, මහ කන්නයට පොහොර ලබා ගන්න මේවා නේද දේශපාලනය කියන්නේ. ඒවනේ අපි කරන්න ඕන.

මම අගමැති වෙලා මුදල් ඇමති වුණාට පස්සේ අයිඑම්එෆ් සංවිධානය සමඟ සාකච්ඡා කළා. අපි ඒ සාකච්ඡා මඟින් විසඳුම් ගණනාවක් හොයාගෙන ආවා. මගේ පරමාර්ථය වුණේ ජූලි මාසයේ දී එකඟතාවකට ඇවිල්ලා අගෝස්තු පළමු සතියේ අයිඑම්එෆ් මණ්ඩලයෙන් අනුමත කර ගන්න. ඒත් ජනවාරි 09 ඉන් අද වෙනකන් මුකුත් තිබුණේ නැහැ. දැන් ඒක කල් යනවා. අගෝස්තු මාසයේ අන්තිමට එතකොට අපිට අනුමත කරන්න පුළුවන්. සැප්තැම්බර් මාසයේ විතර මේ එකඟත්වය නැතිව කවුරුත් මුදල් දෙන්නේ නැහැ. අපි තවත් මේ දේශපාලනයේ යනවද? අපි තවත් මේ දේශපාලනයේ ඉන්නවද? අපි අලුතින් හිතනවද?

මේ තරුණයෝ ඉස්සෙල්ලා අරගල භූමියට ආවේ මේ රටේ ප්‍රතිසංස්කරණ වුවමනායි කියලා. ඒ ගැන මට කිසිම විවාදයක් නැහැ. ඒක වෙනත් අය අරගෙන ප්‍රචණ්ඩත්වයට යොමු කළා.

අපි කොහොමද අපේ ගම්මාන දියුණු කරන්නේ. අයිඑම්එෆ් එක්ක අපි ගිවිසුමක් ඇති කරගත්තා. එහෙන් සල්ලි ගත්තහම හිතන්න එපා ප්‍රශ්නය ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ. වැඩි වැඩියෙන් විදේශ විනිමය ඕනෑ. අලුත් මාවත් ඕන. අපේ කෘෂිකර්මයේ නවීකරණයක් ඕනෑ. අපි මේ දිහා බලලා වැඩ කරනවාද? නැත්නම් සටන් පාඨ කියනවද? මෙතන ඉන්න පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු මේ ගැන හිතලා තීරණය කරන්න ඕනෑ.

මොකද අපි මේ අභියෝගය භාරගත්තේ නැත්නම් මේ රට නැති වෙනවා. ඊළග පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද, නැගිටිනවද කියන එක අද අපිට තිබෙන අභියෝගයයි. අපි මේක භාරගෙන අලුත් ලංකාවක් හදනවද, ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවද, කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවද, අපි අපනයනයට බර වෙන ආර්ථිකයක් ඇති කරනවද?

දැන් තිබෙන ආර්ථිකය ඇති කළේ 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා. මම ඒකේ කොටස් කාරයෙක්. ඒ ආර්ථිකයේ කාලය දැන් ඉවරයි. විශේෂයෙන් මේ සිද්ධි එක්ක ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. අපි එතනට යන්න බැහැ. ඊට ඉස්සෙල්ලා තිබ්බ බි්‍රතාන්‍ය යුගයට යන්න බැහැ. මහනුවර යුගයට යන්නත් බැහැ. අපි අලුතින් හිතලා ඉස්සරහට යන්න ඕන.

අපේ ගම්මාන නවීකරණය කරන්න ඕන. අපිට තාම ඩිජිටල් ආර්ථිකයක් නැහැ. අපි අලුතින් හිතන්න ඕන. ඒ වගකීමයි අපි භාරගන්න ඕන. ඒක අපි බෙදිලා කරනවද එකතුවෙලා ඒ පණිවුඩය දෙනවද? වෙන අයට ඇවිල්ලා බෙදන්න ඉඩ දෙනවාද?

අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීම. කොයි පක්ෂයේ වුණත් මම කිසි දවසක ගෙවල් පුච්චන, ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ. අපි අලුතින් හිතලා අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවුඩය ගමට ගෙනියන්න ඕන. අද ගම හිස්. පොදුජන පෙරමුණෙන් වුණත් එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්ශබ්ද වෙලයි ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ. ආණ්ඩු බලය අපේ අතේනේ අපි එකතුවෙලා මේ පණිවුඩය දෙමු.

මම ඒකයි හැම පක්ෂ නායකයකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය. එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර අය වාද කරයි. ඒත් ගමේ ඒක නැහැ. ගමේ පන්සලට, පාසලට යන්න මොකක්ද කියන්නේ. ඇයි අපි ඒ පණිවුඩය දෙන්නේ නැත්තේ. මේකයි සිදු වුණේ. අපි දැන් එකතුවෙන්න ඕන කියලා ඇයි කියන්නේ නැත්තේ.

ඔබ සියලුදෙනාම පසුගිය මැයි 09 ඉඳලා විඳපු දුක මම දන්නවා. සමහරුන්ගේ ගෙවල් නැති වුණා.  සමහරුන්ට ගමෙන් යන්න වුණා. විශාල තර්ජන තිබුණා. ඔබ සියලුදෙනා මරලා දානවා කිව්වා. ඒ කාලය දැන් ඉවරයි.

අපි බලමු එකට එකතු වෙන්න. අපි බලමු එකට රට වෙනුවෙන් වැඩ කරන්න. මම ඒකයි කියන්නේ මෙතන එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකම ඉන්නවා. ඒ ගැන කතා කරන්න. මම කැමතියි. මම ආවහම මේ ශාලාවේ ඉතිරි කොටසත් පිරිලා තියෙනවට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රවරුන්, කොංග්‍රසයේ මන්ත්‍රිවරුන් බැරිද මේ අයවත් අරන් එන්න.

මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි, පොදුජන පෙරමුණටයි සීමා කරන්න වැඩක් නැහැ. ඡන්දයට වෙනම එන්න ඕනනම් ඒක වෙනම එකක්. ඒක පස්සේ කතා කරමු. අද ගමේ ඉන්නවා කන්න නැති අය, රැකියා නැති අය, ඒ ගැන හොයලා බලමු. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා. ඒ ගැන අලුත් ක්‍රමවේදයක් අපි ඊළඟ සති දෙක තුළදී දැනුම් දෙනවා කියලා මම කියන්න කැමතියි.

මම යෝජනා කරන්නේ මහනුවර මන්ත්‍රිතුමන්ලා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතවරු සියලුදෙනා ප්‍රාදේශීය සභාවට ගිහින් කතා කරන්න. මේ පණිවුඩය දෙන්න. රටට කියන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕන කියලා. විශාල බලවේගයක් අපි හදමු. ඒක කරන්න ලේසිනේ. අපි නිහඬ වෙලා හිටියා දැන් ඇති.

දැන් කතා කරන්න පටන් ගන්න රටේ ප්‍රශ්න. ජනතාවට කියමු මේකයි තියෙන  ප්‍රශ්නේ. අපි මේ ක්‍රියා කරන්නේ මේ ප්‍රශ්න විසඳලා දෙන්න. තෙල් පෝලිම් නැති කරන්න, පොහොර ලබා දෙන්න ගමේ තියෙන ප්‍රශ්න අපිට කියන්න. ඒ නිසා විශේෂයෙන් මහනුවර ඉන්න මේ මන්ත්‍රිතුමන්ලාගෙන් ඒ ඉල්ලීම මම කරනවා. මේක මේ පක්ෂ දෙකකට සීමා කරන්න එපා. ඕන කෙනෙක්ට එන්න දෙන්න. ඒ බලවේගය වැඩි කරගන්න. එතකොට වඩා බලවත් හඬක් මෙතැනට එනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ හඬ එනවා. තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න, තරුණ තරුණයන්ගේ ප්‍රශ්න විසඳන්න. ඔවුන්ට හොඳ අනාගතයක් ගොඩනගන්න කණ්ඩායමක් විධියට මේ පොදු පණවුඩය දීලා අපි  ක්‍රියාත්මක කරමු කියලා මම කියනවා.”

මහනුවර – කේ.එල්. සුරවීර

සඳුනි ගමාරච්චි