ළඟදීම බිත්තරය 55ට නගිනවා බිත්තර නිෂ්පාදකයෝ කියති

0
8

ඉන්ධන සහ කුකුළු කෑම මිල ඉහළ යෑමත්, හිඟයක් නිර්මාණය වීමත් හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන්, පොල්ලෙලි කපා පැකට් කිරීම වැනි වෙනත් ව්‍යාපාර වෙත යොමුවෙමින් සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පැවැසීය.

මේ වනවිට කුකුළු කොටුවල සිටි සතුන්ගෙන් සියයට පනහකට වඩා ඉවත්කර මසට විකුණා තිබෙන බවත් කෑම හිඟය හේතුවෙන් දැනට සිටින කුකුළන්ගේ බරද  අඩුවී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

 කුකුළු කොටුවල පොල්ලෙලි කපන කටර් ඇතුළු වෙනත් උපකරණ සවිකිරීමට ගොවියන් පියවර ගෙන ඇතැයි කී හෙතෙම අලුතෙන් කුකුළු පැටවු ඇතිකොට කර්මාන්තය පවත්වාගෙන යෑමට ගොවියන් උනන්දු නොවන බව ප්‍රකාශ කළේය.

ඩීසල් මිල ඉහළ යෑමෙන්  බිත්තර ප්‍රවාහන වියදම් අධික ලෙස ඉහළ ගොස් තිබෙන බවත් අනෙකුත් වියදම් සැලකීමේදී බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා ගොවියාට රුපියල් 45ක පිරිවැයක් දැරීමට සිදුවන බවත් රත්නායක මහතා පැවැසීය.

බඩඉරිඟු ඇතුළු කුකුළු කෑම මිල ඉහළ යෑම ගොවියාට දරාගැනීමට නොහැකි බැවින්  ඉදිරියේදී වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 55 දක්වා ඉහළ යනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට  බිත්තර නිෂ්පාදනය සියයට 40ක් දක්වා පහත බැස ඇතැයිද කී සභාපතිවරයා  ඉදිරියේදී විදේශවලින් බිත්තර ගෙන්වීමට සිදුවනු ඇතැයි ප්‍රකාශ කළේය.

දිවයින පුරා බිත්තර නිෂ්පාදකයන් හත්දහසක් පමණ සිටි බවත්, මේ වනවිට එම ප්‍රමාණය දහසකට අඩුවී තිබෙන බවත් ඔහු කියා සිටියේය.

කුඩා, මධ්‍යම හා මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් බොහෝ පිරිසකට ජීවන මාර්ග අහිමිවී තිබෙන බව පැවැසූ හෙතෙම මෙම ගැටලුව කෙරෙහි බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ