ශ්‍රී ලංකා පිල ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට

0
8

කොලොම්බියාවේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී  ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට ඒ වෙනුවෙන් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේ ගැටලුවත් මතුවීම නිසා අදාළ තරගාවලියට සහභාගි වීම දැඩි අවිනිෂ්චිත තත්ත්වයකට පත්ව තිබීම පසුගිය දින කිහිපය තුළ විශාල අවධානයක් යොමු වූ මාතෘකාවක් බව නොරහසකි.

කෙසේ වෙතත් අවසන් මොහොතේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ මැදිහත්වීම යටතේ අදාළ කණ්ඩායම කොලොම්බියාව බලා පිටත්ව ගොස් තිබීම විශේෂත්වයකි.

ඒ අනුව අද (1දා) ආරම්භ වීමට නියමිත ඉහත තරගාවලිය වෙනුවෙන් සහභාගි වන ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි වේලාවට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට ක්‍රීඩා බලධාරීන් අපොහොසත් වීම හේතුවන් මෙම ගැටලුකාරී වාතාවරණය උද්ගතව තිබිණි. එමෙන්ම මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළකළ කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ක්‍රීඩා බලධාරීන්ගේ ඇස් ඇරෙන තෙක් පසුගියදා කොළඹ ටොරිංටන් ක්‍රීඩාංගණයේ රැය පහන් කිරීමට පවා සිදුවීම කණගාටුදායක සිදුවීමකි.

මෙහිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ තරගාවලිය සඳහා සහභාගි වීමට අවශ්‍ය අනුමැතිය සහ මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබුණද ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා සංගමය තම වගකීම වූ ගුවන් ටිකට්පත් නිසි වේලාවට වෙන් කර ගැනීම සිදු කිරීමට අපොහොසත්ව ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ද පවසා තිබුණේ ගුවන් ටිකට්පත් ලබා දීම සඳහා තම අනුමැතිය ලබා දී තිබියදීත් මලල ක්‍රීඩා සම්මේලනය හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම දරුවන්ට පහසුකම් සැළසීම ස¼දහා අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කළකිරීමට පත්වූ බවයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී මේ වෙනුවෙන් මැදිහත් විය යුතු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී  ලංකාවේ නොසිටීමත් (පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් එංගලන්තය බලා පිටත්ව ගොස් තිබීම) ඔහු වෙනුවට වගකීම් භාරව සිටි නිලධාරීන් තම වගකීම නිසි ලෙස ඉටු නොකිරීමත් මෙම කණගාටුදායක තත්ත්වය තවදුරටත් තීවර කිරීමට හේතුපාදක වූ බව නොරහසකි.

එමෙන්ම මෙම මතභේදාත්මක සිදුවීමෙන් අනතුරුව විශේෂ හේතුවක් හැරෙන්නට සංගම් ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ නිලධාරීන්ට යළි තරගාවලි නියෝජනය කිරීම වහා නවතා දමන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බවද සඳහන්ය.

මෙවන් පසුබිමක් තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම යටතේ ශ්‍රී  ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම අවස්ථා දෙකකදී කොලොම්බියාව බලා පිටත්ව යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදී තිබීමද විශේෂත්වයකි. ඒ අනුව පෙරේදා (30දා) රාත්‍රියේදී ක්‍රීඩකයින් දෙදෙනකු සහ ඊයේ (31දා) සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොලොම්බියාව බලා පිටත්ව යෑමට කටයුතු යොදා තිබිණි.

කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (1දා) සිට 8 වැනිදා දක්වා කොලොම්බියාවේ කාලි නගරයේදී පැවැත්වේ.

ශ්‍රී  ලංකා කනිෂ්ඨ කණ්ඩායම 

තරුෂි කරුණාරත්න (මීටර් 400, 800), හිරුෂ හෂේන් (දුර පැනීම), රුමේෂ් තරංග (හෙල්ල විසි කරීම), නදුන් කවීෂ බණ්ඩාර (මීටර් 110 කඩුලු), අමේෂා හෙට්ටිආරච්චි (මීටර් 400 කඩුලු), පසිඳු මල්ෂාන් (තුන් පිම්ම), ධනුක දර්ශණ (මීටර් 400 කඩුලු), භද්‍රා ගුණවර්ධන (පුහුණුකාරිනී සහ කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනී), සුසන්ත ප්‍රනාන්දු (කළමනාකරු).

ගමිත දෙහිපිටිය