වෛද්‍යවරුන්ගෙන් ‘විශේෂඥ’ හැලෙයිද?

0
29

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විදේශීය පුහුණුව නතර කිරීම සඳහා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ චෝදනා කරයි.

රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා අත්‍යවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් බිහිවීමේ ක්‍රියාවලිය නතර වුවහොත් මොනරාගල, තිස්සමහාරාම, උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල පිහිටි රෝහල්හි විශේෂඥ වෛද්‍ය ඒකක වැසී යෑමේ අවදානමක් පවතින බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් දුප්පත් රෝගීන්ට ජීවිතවලින් වන්දි ගෙවීමටත් කිලෝමීටර් සිය ගණනක් දුර ගෙවා පහසුකම් ඇති රෝහල් සොයා යෑමටත් සිදුවන බව අලුත්ගේ මහතා පැවැසීය.

රටේ මූල්‍ය තත්ත්වය හා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදනවල ගැටලු හේතුවෙන් විදේශීය පුහුණුව නතර කිරීමට මෙම තීරණය ගෙන ඇති බවත්, එමඟින් රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවයට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඉහළ මට්ටමේ මැදිහත් වීමකින් මෙම ගැටලුව විසඳිය යුතු බව පැවැසූ හෙතෙම මේ පිළිබඳව නැවත සලකා බලන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව ප්‍රකාශ කළේය.

මෙරට වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ලෝකයේ පිළිගැනීම ඉහළ තත්ත්වයක පැවැතීමට විශේෂඥ වෛද්‍යවරුන් ලෝකයේ දියුණු රටවල ඇති සුව විශිෂ්ටතා මධ්‍යස්ථානවල දියුණු පහසුකම් යටතේ වසර හෝ දෙකක කාලසීමාවක් ලබන පුහුණු ප්‍රධාන වශයෙන් බලපෑ බවද ඔහු පැවැසීය.

වෛද්‍යවරුන්ගේ දියුණු දැනුම කුසලතා ආකල්ප ශ්‍රී  ලංකාවට ගෙන ඒම සඳහා විදේශීය පුහුණුව ප්‍රධානම හේතුවක් වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය, නිසි ඇගයීමක් කොට මුදල් සොයා ගැනීම විකල්ප විසඳුම් කරා යෑමට මුදල් අමාත්‍යාංශය, රටේ රාජ්‍ය නායකයා සමඟ සාකච්ඡා කර තිබේදැයි ගැටලුවක් ඇතිවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කුමන ආර්ථික ප්‍රශ්න පැමිණියද සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව පැවැසූ ලේකම්වරයා, විදේශීය පුහුණුව නතර කිරීමේ තීරණය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලටද පටහැනි බව කීය.

ජනාධිපතිවරයා පසුගිය කාලයේදී ඉන්ධන, ආරක්ෂාව, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දීමනා කප්පාදුව වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට සෘජුව මැදිහත් වී යම් සාධනීය විසඳුම් ලබාදීමට කටයුතු කළ බැවින් මෙම ගැටලුව විසඳීම සඳහා ඔහුගේ මැදිහත් වීම අපේක්ෂා කරන බවද හරිත අලුත්ගේ ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග