වැල් පාලමෙන් එගොඩ වීම

0
88

කවර සාම්ප්‍රදායික මිත්‍රකම් පැවැතියද සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් නිශ්චිතවම නැති රටකට ජාත්‍යන්තර වශයෙන් සහාය ලැබීම අවිනිශ්චිතය. ඉකුත් ජුනි මාසය ආරම්භ වන විට සියයට 54.6ක්ව පැවැති උද්ධමනය ජූලි මාසය ආරම්භ වන විට 58.9ක් දක්වා ඉහළ ගොස් ඇත. රටේ සාමාන්‍ය ජනතාවට පවත්නා ජීවන වියදම දරාගත නොහැකි වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය පියංග දුනුසිංහ ‘මව්බිම’ට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී  ලංකාවේ උද්ධමනය දෙවැනි වන්නේ ලෙබනනයට පමණක් බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිගරු මහ නාහිමිවරුන් හමු වී ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව විශේෂ සමුළුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ තමා මේ රට භාරගත්තේ රටේ ආර්ථිකය සහමුලින්ම බිඳවැටී අතිශය අභාග්‍යසම්පන්න මොහොතක බවය. එම නිසා ආර්ථිකය ගොඩනඟමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්හි සහයෝගය අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

බිඳවැටුණු රටක් ගොඩනැඟීම පහසු කාර්යයක් නොවේ. ඒ බව පුන පුනා කිව යුතු නැත. එහෙත් රට ගොඩගන්නට තවමත් නිශ්චිත වැඩපිළිවෙළක් ඇති බව නම් නොපෙනේ. ආණ්ඩුව බලාගෙන සිටින්නේ විදේශ ණය ලැබෙනතුරුය. ඒ සඳහා කොපමණ කල් ගතවේද? කොපමණ ණය ප්‍රමාණයක් අපට ලබාගත හැකිද? ඒ වෙනුවෙන් අප කෙබඳු කොන්දේසිවලට යටත් විය යුතුද? මේවා තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්නය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානි සමන්තා පවර් ඉන්දියාවේදී දේශනයක් පවත්වමින් කියා තිබුණේ ශ්‍රී  ලංකාව බංකොලොත්වීමට බලපාන හේතු අතර චීන ඵලදායි නොවන ව්‍යාපෘති හා ණය ගනුදෙනු ප්‍රධාන හේතුවක් බවයි. ශ්‍රී  ලංකාවෙහි ආර්ථිකයෙහි බිඳවැටීම සම්බන්ධව පවර් දක්වා ඇති අදහස අපට එක් සැණින්  ප්‍රතික්ෂේප කළ නොහැකි වී ඇත්තේ විදේශ සහනාධාර මත අප රටේ ආරම්භ කොට ඇති ව්‍යාපෘති බොහොමයක්ම තවමත් රටට කිසිදු ආදායමක් උපදවන බවක් පෙනෙන්නට නොතිබීම හේතුවෙනි.

විදේශ ණය ලබා ගැනීම සම්බන්ධව අප රටට ඇත්තේ වාර්තාගත ඉතිහාසයකි. දැනට අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57කි. මෙයින් 47%ක්ම ලබාගෙන තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙනි. ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර මඟිනි. චීනයෙන් හා ජපානයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 20%කි. දැනට ණය ගෙවීම පැහැර හැර ඇති නමුදු මේ වසර තුළ ගෙවිය යුතුව තිබූ ණය ප්‍රමාණය බිලියන 7කට වඩා වැඩිය. 2026 වර්ෂය දක්වා කාලය තුළ ඩොලර් බිලියන 30ක් තරම් ණය ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබේ. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක ණය මුදලක්ද ලබාගෙන දැනටමත් වැය කොට තිබේ. චීනයෙන්ද කෙටිකාලීන ණය පහසුකම් ලබාගෙන ඇත. මේ ණය කිසිවකින් මේ රටේ ආර්ථිකය නඟාසිටුවීමේ ක්‍රියාවලියට කිසිදු දායකත්වයක් ලැබී ඇති බවක් නොපෙනෙයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2022 වසරේ පළමු කාර්තුවට අදාළව නිකුත් කොට ඇති වාර්තාව අනුව එම කාල පරිච්ඡේදය තුළ මෙරට ආර්ථිකය ඍණ 1.6කින් හැකිළී තිබේ. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇති පරිදි මෙරට ආර්ථිකය 6%ත් 8%ත් අතර අගයකින් හැකිළීමට ඉඩ තිබේ. සැබැවින්ම මේ බරපතළ අනාවැකියකි.

වර්තමාන දේශපාලන අර්බුදයද ආර්ථික අර්බුදයෙහිම ඍජු ප්‍රතිඵලයකි. ජන අරගලය විසින් උසිගන්වන ලද දේශපාලන පෙරළිය සඳහාද වර්තමාන ආර්ථික ගැටලු ප්‍රමුඛ හේතුකාරකය වූවාට සැක නැත. අර්බුදයෙන් මිදීම සඳහා දිගුකාලීන විසඳුම් මෙන්ම කෙටිකාලීන විසඳුම්ද ක්‍රියාවට නැඟිය යුතුව තිබේ. ජනතා අපේක්ෂා ඉටු කරන ‘සර්වපාක්ෂික ආණ්ඩුවක්’ පිළිබඳ සංකල්පය බහුජන ප්‍රසාදයට පාත්‍රව තිබෙන යෝජනාවකි. අතිගරු මහ නායක මාහිමිවරුන්ගේ පාර්ශ්වයෙන්ද මේ යෝජනාව යළිත් වතාවක් ඉදිරිපත්ව තිබේ. කඩිනම් ව්‍යවස්ථා සංශෝධනයකට වඩා මෙකී සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය වඩාත් ප්‍රායෝගික වූවක් බව පැහැදිලිය.

ජාත්‍යන්තර වාර්තා අනුව ලතින් ඇමරිකානු රටවල් 19ක්ද, ආසියා ෆැසිපික් කලාපයේ රටවල් 25ක්ද, අප්‍රිකානු කලාපයේ රටවල් 25ක්ද වශයෙන් රටවල් 69ක් ආහාර හා ඉන්ධන ණය අර්බුදයට මුහුණ දෙමින් සිටී. මේ දිනවල ලෙබනනයේ ආහාර මිල එකොළොස් ගුණයකින් ඉහළ ගොසින්ය. යුක්රේනයේ තිරිඟු පිටි ආනයනය කිරීමට අපහසු වීම හේතුවෙන් පාන් නිෂ්පාදනය ඇනහිට ඇති බව කියයි. ලෙබනනය දැන් ලෝක බැංකුවෙන් ණයක් ලබා ගෙන තිබේ. දැඩි පීඩාවට පත්වන මිනිසුන් පාරට බසින්නට පටන්ගෙන තිබෙන්නේ ශ්‍රී  ලංකාවෙහි පමණක්ම නොවේ. රටක් තුළ නිර්මාණය වන සකලවිධ අර්බුදවලට විසඳුම් සෙවීම පාලනාධිකාරියෙහි ප්‍රමුඛ වගකීමක් බව පුරවැසියන්ගේ පිළිගැනීමය. ජනතා අරගල මර්දනයෙන් හා හදිසි නීතිය වැනි නීතිමය යම් බාධක මඟින් සංසිඳවනු වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාමාර්ගවලට එළැඹීම වඩාත් සුදුසුය.

ශ්‍රී  ලංකාව ආදායමට වඩා වියපැහැදම් කරන රටක් බවට පත්ව තිබේ. 2018 වර්ෂයේදී පමණක් ඩොලර් මිලියන 2,100ක් ඉක්මවා වාහන ආනයනය සඳහා පමණක් මුදල් වැය කර තිබේ. 8,356ක් වූ පළාත් පාලන සභිකයන්ගේ ධුර කාලය වසරකින් දික් කරලීම හේතුවෙන් තවමත් මසකට රුපියල් ‍ෙදාළොස් කෝටි දහතුන් ලක්ෂ විසිපන් දහසක මුදලක් දීමනා වශයෙන් ගෙවමින් සිටී. මේ ගෙවීම් 2010 වර්ෂයේ කැබිනට් මණ්ඩල තීරණයකි. රටේ ඉන්ධන අර්බුදයට තවමත් නිසි විසඳුම් ඉදිරිපත් නොකොට තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හා නිලධාරීන්ගේ ඉන්ධන දීමනා ඉහළ නංවා තිබේ. වාර්තා වන්නේ මන්ත්‍රිවරුන් සඳහා වූ ලක්ෂයක ඉන්ධන දීමනාව දෙලක්ෂය දක්වා ඉහළ නංවා ඇති බවය. 18 ලක්ෂයක් තරම් වූ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගසන්නට සිදුවිය හැකි බව රනිල් වික්‍රමසිංහ කියා තිබුණේ අග්‍රාමාත්‍ය පදවිය දරමින් සිටියදීය. රටේ ආර්ථිකයේ වර්තමාන ස්වභාවය කෙබඳු දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

තනතුරු හැර ගිය නායකයන් මෙන්ම ඒ නායකයන්ගේ සිතුම් පැතුම් පණ ගැන්වූ නිලධාරීන් රට මුහුණ දෙමින් සිටි අර්බුදයේ යථා ස්වරූපය ජනතාවට පැහැදිලි කළේ නැත. ඔවුන් කළේ අර්බුදය තමන්ගේ නිර්මාණයක් නොවන බව කියමින් එකිනෙකාට ‍ෙදාස්පරොස් නැඟීමය. සිදුවූයේ විසඳුමක් පෙනෙන තෙක් මානයක දක්නට නොතිබීමය.

පමා වී හෝ දැන් දැන් වැඩි පිරිසකට යථාර්ථය වැටහී තිබේ. අවශ්‍ය වන්නේ කඩිනම් විසඳුම්ය. වැල්පාලමේ ගීතය කිය කියා කල් මැරුවා හොඳටම ප්‍රමාණවත්ය. පුරවැසියන්ට නිදහසේ හුස්ම ගන්නට හැකි අන්දමේ වටපිටාවක් කඩිනමින් නිර්මාණය කළ යුතුය.