වැඩි මිලට විකුණන්න තෙල් සඟවා ගෙන සිටි 6ක් STF දැලේ

0
13

බලපත්‍ර නොමැතිව රුපියල් ලක්‍ෂ හයකට අධික වටිනාකමකින් යුත් ඩීසල් ලීටර් 320ක් හා පෙට්රල් ලීටර් 600ක් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩා කර සිටි පුද්ගලයන් හය දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පසුගිය සෙනසුරාදා (30දා) විශේෂ කාර්ය බළකාය අම්පාර, අනුරාධපුර සංවිධානාත්මක අපරාධ II කඳවුරුවලින් නීතිවිරෝධී ලෙස ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩා කර සිටි පුද්ගලයන් හය දෙනකු ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අම්පාර කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එම්. ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මිහිඳුපුර ප්‍රදේශයේදී පෙට්රල් ලීටර් 400ක් සහ වායු රයිෆලයක් සමඟ අම්පාර ප්‍රදේශයේ පදිංචි 28, 32, 36 වයසේ පසුවන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අම්පාර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

අනුරාධපුර කඳවුරේ දෙවැනි කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරීක්‍ෂක ජී. ජී. වයි. ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් රාජාංගණය ප්‍රදේශයේදී පෙට්රල් ලීටර් 200ක් සහ ඩීසල් ලීටර් 100ක් සමඟ රාජාංගණය ප්‍රදේශයේ පදිංචි 46 වයසේ පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රාජාංගණය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

සංවිධානාත්මක අපරාධ II හි උප පොලිස් පරීක්‍ෂක එස්. කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේදී ඩීසල් ලීටර් 220ක් සමඟ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 28, 46ත් අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

මිතුන් ජයවර්ධන