වද වෙන්නේ නැතිව වදමල්වලින් ලස්සන වෙමු

0
45

ඔෟෂධීය ගුණයෙන් ඉහළ මල් වර්ගයක් ලෙස වදමල් හැඳින්විය හැකිය. වදමල්වල අන්තර්ගත වන ඉහළ ඔෟෂධීය ගුණය නිසා බොහෝ විට ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයේදීද විවිධ ලෙඩ රෝග සුව කර ගැනීමට පවා වදමල් භාවිත කරයි. මෙම වදමල්වල පෙති වියළා කුඩු කොට පානය කිරීමෙන් ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කොට සිරුර නිරෝගී කිරීමේ විස්මිත හැකියාවද අන්තර්ගතය.

විශේෂයෙන්ම රුව ඔප්නංවන විවිධ වූ රූපලාවණ්‍ය සත්කාරයන් සඳහාද වදමල් භාවිතයට ගනු ලබන්නේ එහි ඇති විස්මිත ගුණය නිසාය. එසේ නම් අද Her අතිරේකය වෙන් වෙන්නේ වදමල්වලින් සිදු කරගත හැකි ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාරයන් කිහිපයක් ඔබට හඳුන්වා දීම සඳහායි. වදමල්වලින් කරගත හැකි සත්කාරයන් හිසකෙස් ඉක්මනින් වවා ගැනීමට සුදුසු සත්කාරයක්

අවශ්‍ය දේවල්

-පෙති පහේ වදමල් 3ක පෙති

-කරාබු නැටි 7-8ක් පමණ

-පොල් කිරි අඬු කෝප්ප

     1 1/2ක්

සාදා ගන්නා ආකාරය

පළමුව වදමල් හොඳින් පිරිසුදු කොට පෙති ටික වෙන් කර ගන්න. දැන් වදමල් ටික පිරිසුදු කුඩා වංගෙඩියක දමා තළා ගන්න. දැන් මේ සියල්ලම ග්‍රයින්ඩර් කර ගන්න. දැන් සුදුසු භාජනයක් ළිප තබා මෙයට අඹරාගත් මිශ්‍රණය එකතු කොට මඳ ගින්නේ විනාඩි කිහිපයක් රත්කර ගන්න. එය ළිපෙන් ඉවතට ගෙන නැවත ස්වල්ප වේලාවක් තිබෙන්නට තබන්න. අවසානයට එය පෙරා වෙන් කර ගන්න. එය පිරිසුදු ස්ප්‍රේ බෝතලයක දමා ශීතකරණයේ තබා දින 4-5ක් පමණ කල් තබා ගත හැකියි.

භාවිත කරන ආකාරය

ස්නානය කිරීමට පෙර හිස්කබලට සහ හිසකෙස්වලට හොඳින් ස්ප්‍රේ කරන්න. දැන් විනාඩි කිහිපයක් ඇඟිලි තුඩු ආධාරයෙන් සියුම්ව මසාජ් කරන්න. අවසානයට ෂැම්පු කන්ඩිෂනර් කොට සෝදා ඉවත් කරන්න. මෙය දිනපතාම සිදු කරනවා නම් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.

වදමල්වලින් සාදාගත හැකි ස්වාභාවික තෙල් එකක්

අවශ්‍ය දේවල්

-වදමල් පෙති පවුඩර්

     තේ හැඳි 5ක්

-තල තෙල් තේ හැඳි 4ක්

-පොල් තෙල් තේ හැඳි 5ක්

-අලිගැටපේර තෙල් හෝ

     ආමන්ඩ් තෙල් තේ හැඳි 2ක්

-කැරට් තෙල් තේ හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය

පළමුව වදමල් පෙති වෙන් කර ගන්න. එය හිරු එළියේ හොඳින් වියළා කුඩු කරගන්න. දැන් අනෙකුත් ද්‍රව්‍ය සියල්ල සමඟ මිශ්‍ර කොට සුදුසු පිරිසුදු භාජනයකට දමා ගන්න. එය Coil Paper එකකින් ආවරණය කරන්න. දැන් භාජනයක් ළිප තබා ඩබල් බොයිල් ආකාරයට මඳ ගින්නේ ස්වල්ප වේලාවක් රත්කර ගන්න. දැන් එම භාජනය ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට සුළු වේලාවක් තබන්න. හොඳින් නිවුණු පසුව එයට විටමින් E කරල් 2ක් කඩා එකතු කරන්න.

භාවිත කරන ආකාරය

සතියකට 3න් වතාවක් හිස ගල්වා ඇඟිලි තුඩු ආධාරයෙන් හොඳින් මසාජ් කොට පැයක් තබා සෝදා ඉවත් කරන්න.

සම පැහැපත් කරන

වදමල් පානය

අවශ්‍ය දේවල්

-වදමල් 5ක් පමණ

-උණු ජලය

-දෙහි යුෂ ස්වල්පයක්

-මී පැණි ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

නටන උණු ජලය අඬු කෝප්පයකට වදමල්වල පෙති ටික කඩා එකතු කරන්න. වසා පැය භාගයක් පමණ තැම්බෙන්නට තබන්න. ඉන් පසුව පෙරා යුෂ ටික වෙන්කර ගන්න. එයට දෙහි භාගයක යුෂ, මී පැණි එකතු කරන්න. සියල්ල හොඳින් කලවම් කොට දිනකට වතාවක් පානය කරන්න. සතියකට දින 4-5ක් පමණ පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

වදමල් Face Cream

මෙය සම ඉක්මනින් පැහැපත් කරන ස්වාභාවික සත්කාරයකි.

අවශ්‍ය දේවල්

-වදමල් පෙති 10ක් පමණ

-ආමන්ඩ් තෙල් තේ හැඳි 2ක්

-සැෆ්රන් රේණු 4-5ක්

  • -කෝමාරිකා ජෙල් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පළමුව වදමල් සහ ආමන්ඩ් තෙල් තේ හැඳි 1ක් මිශ්‍ර කොට බ්ලෙන්ඩර් කර ගන්න. එය කුඩා බෝල් එකකට දමාගන්න. දැන් එයට නැවත ආමන්ඩ් තෙල් තේ හැන්දක් දමා නැවත ඩබල් බොයිල් ආකාරයට රත් කරන්න.

ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න. දැන් පිරිසුදු රෙදි කඩක් දමා, මිරිකා යුෂ ටික වෙන් කරගන්න. මෙම යුෂවලින් තේ හැඳි 2ක පමණ ප්‍රමාණයක් ගෙන එයට සැෆ්රන් රේණු 4ක් පමණ එකතු කරන්න. කෝමාරිකා ජෙල් තේ හැඳි 2ක ප්‍රමාණයකුත් එකතු කරන්න. සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. පිරිසුදු කුඩා බඳුනකට දමා ශීතකරණයේ තබා සතියක් පමණ කල් තබා ගත හැකියි. දිනපතා භාවිත කිරීම වඩාත් සුදුසුයි.

භාවිත කරන ආකාරය

රාත්‍රියට ආලේප කොට උදෑසනට සෝදා ඉවත් කරන්න.

වදමල් Face Pack

අවශ්‍ය දේවල්

-වදමල් 6ක් පමණ

-හාල් පිටි තේ හැඳි 2ක්

-පොල් කිරි තේ හැඳි 2ක්

සාදාගන්නා ආකාරය

පළමුව වදමල්වල පෙති වෙන් කොට බ්ලෙන්ඩර් කරගන්න.

දැන් එයට හාල් පිටි සහ පොල් කිරි දමා සියල්ල හොඳින් කලවම් කරන්න. එය ආලේප කළ හැකි ආකාරයට පේස්ට් එකක් ලෙස සාදාගත යුතුය.

භාවිත කරන ආකාරය

ක්ලෙන්සර් කොට, ස්ක්‍රබ් කොට සම හොඳින් පිරිසුදු කරන්න. දැන් මෙම Pack එක ආලේප කොට විනාඩි 30ක් පමණ තබා සෝදා ඉවත් කරන්න. සතියට තුන් වතාවක් පමණ භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.

දිනුෂා මනෝරි නිශ්ශංක

අප්සරා තිලකරත්න

ප්‍රවීණ රූපලාවණ්‍ය

ශිල්පිනි

සැලෝන් අප්සරා

කෝට්ටේ, රාජගිරිය