ලංකා බැංකුව 83 වැනි සංවත්සරය සමරයි

0
15

ශ්‍රී  ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව විසින් සිය 83 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබූ අතර ඒ වෙනුවෙන් වූ උත්සවය කොළඹ 01 පිහිටි ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ කෙරුණු අතර ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහ ගනුදෙනුකරුවෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්ද මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

සංවත්සර සැමරුම සංකේතවත් කරමින් ‘My Health Savings’ නමින් සෞඛ්‍ය ඉතුරුම් ගිණුමක් හඳුන්වා දීම සහ විදෙස්ගත ලාංකිකයන් වෙත ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් ‘Foreign Circle’ ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කෙරිණි. ඊට අමතරව ලංකා බැංකුවේ ප්‍රථම ශාඛාව වන කොළඹ කොටුව බි්‍රස්ටල් වීදියේ අංක 41 දරන ලිපිනයේ පිහිටි BOC නගර කාර්යාලයට (City Office) ගෙවැදීම ද එදිනම සිදු කෙරිණි.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහ සංවත්සර සැමරුම වෙනුවෙන් අදහස් දක්වමින් පැවැසුවේ, “ලංකා බැංකුවට සවිමත් සන්නාමයක් ලෙස සිය 83 වැනි සංවත්සරය සැමරීමට හැකිවීම ප්‍රශංසනීය ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. මේ රටේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට වගේම රටේ දියුණුව වෙනුවෙන් කැපවූ ආයතනික පුරවැසියකු විදිහට, ලංකා බැංකුව ඉතා නිහතමානී ආඩම්බරයකින් යුතුව මෙම සංවත්සර සැමරුම සිදු කරනවා. ලාංකේය පුරවැසියන්ගේ ජීවිත හා ජීවනෝපායන් නඟා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක වන නිසාම නවතම ඩිජිටල් නිපැයුම් හා සේවාවන් හඳුන්වාදීමට සහ සංවර්ධනය කිරීමට නිරන්තරයෙන් කැප වෙනවා. ලංකා බැංකුවේ අභිමානවත් සංවත්සරය සමරන මේ මොහොතේ දැඩි විශ්වාසයෙන් යුතුව අප සමඟ රැඳී සිටින වටිනා ගනුදෙනුකාර භවතුන්ට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට මාගේ  හෘදයාංගම ස්තූතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙනි.

මෙම අවස්ථාවේදී ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. “රටේ අංක 1 බැංකුව විදිහට ලංකා බැකුවේ ගමන් මඟ අභියෝගාත්මක වුවත් ඉතා සුබදායක එකක් බව පැවැසිය යුතුමයි. ආරම්භයේ සිටම අප සමඟ අත්වැල් බැඳගෙන සිටි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන් සහ සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත විශේෂ ස්තූතිය පුද කළ යුතුයි. අභියෝගාත්මක කාල වකවානුවලදී පවා ඉතා ශක්තිමත්ව ඉදිරියට යෑමට ඔවුන් සියලුම දෙනා අපට සහයෝගය ලබා දුන්නා. ඔවුන් ඉතා කැපවීමෙන් ගොඩනැඟූ සියලුම වටිනාකම් ලංකා බැංකුව නිරන්තරයෙන් ආරක්ෂා කරන බව අවධාරණය කරන අතර, ලංකා බැංකුව රුපියල් මිලියන 4 ඉක්මවන වත්කම් පදනමක් සහිත ශක්තිමත් ආයතනයක් බවත් සිහිපත් කිරීමට කැමැතියි.”

“සවිමත් ශාඛා ජාලයක්, ඩිජිටල් සේවා ජාලයක් සහ නිපැයුම් කලඹක් හිමි ලංකා බැංකුව එමඟින් රටේ සංවර්ධනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන අතර, ඒ වෙනුවෙන් විවිධ ආයෝජනයන්ද සිදු කරනවා. අපගේ ගනුදෙනුකරුවන් කොතැනක සිටියත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට අපි දවසේ පැය 24 පුරා කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා. දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් වෙත සහයෝගය ලබා දෙමින් අපි ‘SME Circle’ සහ ‘Export Circle’ වැනි නවතම සේවාවන් හඳුන්වා දීමටත් කටයුතු කළා. එය මෑතකාලීනව ඇති වූ ආර්ථික අභියෝග ජයගැනීම වෙනුවෙන් අප හඳුන්වා දුන් විශේෂිත සහනදායී මූල්‍ය යෝජනා ක්‍රම හරහා ගනුදෙනුකරුවන්ට සහාය වීමට ලංකා බැංකුව ගත් තීරණයේම දිගුවක් විදිහට හඳුන්වා දුන්නොත් මා නිවැරැදියි.” සුමනසිරි මහතා වැඩිදුරටත් අදහස් දැක්වූවේය.

නවීකරණය වූ, ලංකා බැංකුවේ පළමු ශාඛාව වන නගර කාර්යාල ශාඛාවත් සමඟම දිවයිනම ආවරණය කරමින් පිහිටා ඇති BOC ශාඛා සංඛ්‍යාව 649කි. ඒ හරහා මෙන්ම 1415ක් වූ ATM, CDM හා CRM ජාලය හරහාද කාර්යක්ෂම සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි. එමෙන්ම ලංකා බැංකුවේ විදේශීය ශාඛා අතරට චෙන්නායි, මාලේ, හුල්හුමාලේ හා සීෂෙල්ස් හි පිහිටි ශාඛා මෙන්ම ලන්ඩනයේ පිහිටි ලංකා බැංකුවට අනුබද්ධිත ආයතනයද ඇතුළත්ය. ලංකා බැංකුව ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සමඟ ඉතා ශක්තිමත් සබඳතාවක් පවත්වාගෙන යන නිසාම බැංකු හා මූල්‍ය යන සෑම අංශයක් තුළම සිය ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට සමත් වී ඇති බව සහ ඒ නිසාම ලංකා බැංකුව ලාංකේය වෙළෙඳ මූල්‍ය අභ්‍යන්තර වෙළෙඳපොළ තුළ පෙරමුණ ගැනීමට සමත් වී ඇති බවද පැවැසිය යුතුමය.

සිය ඩිජිටල් පරිවර්තනයත් සමඟ හරිත බැංකුකරණය වෙත සාර්ථකව අනුවර්තනය වූ ලංකා බැංකුව එමඟින් කාබන් පියසටහන් අවම කිරීමට මෙන්ම පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීමට ද සමත් විය. එමෙන්ම ලංකා බැංකුව එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් (SDGs) අරමුණු කරගත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ආයතනයක් බවද පැවැසිය යුතුම කරුණකි.

රුපියල් බිලියන 53කට අධික සන්නාම වටිනාකමක් වාර්තා කිරීමත් සමඟම ‘Brand Finance Lanka’ ආයතනය විසින් මෙරට අංක 1 බැංකු සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කෙරුණු අතර, ලංකා බැංකුව රුපියල් ටි්‍රලියන 4ක වත්කම් පදනමක් සහ රුපියල් ටි්‍රලියන 3කට අධික තැන්පතු පදනමක් වාර්තා කළ ප්‍රථම දේශීය බැංකුව ලෙසින්ද  හඳුන්වාදිය හැකිය.

එක්සත් රාජධානියේ ‘The Banker’ සඟරාව ‘2021 වසරේ බැංකුව‘ ලෙස නම් කෙරුණු ලංකා බැංකුව ලෝකයේ ඉහළම බැංකු 1000 අතරට මෙන්ම ලංකාවේ අංක 1 බැංකුව ලෙසද ශේ‍ර්ණිගත කෙරිණි.

‘2022 SLIM – Kantar ජනතා සම්මාන’ උළෙලේදී ‘වසරේ හොඳම සේවා සන්නාමය’ සහ ‘වසරේ හොඳම බැංකු සේවා සන්නාමය’ යන ජනතා සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූ ලංකා බැංකු LankaClear ආයතනය විසින් සංවිධානය කරන ලද ‘LankaPay Technovation Awards 2022’ හිදී ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් විශිෂ්ටත්වය සඳහා වන සමස්ත රන් සම්මානය’ද දිනා ගැනීමට සමත් විය. මෙවැනි බොහෝ දෙස් විදෙස් ඇගයීම් සමඟින් ලංකා බැංකුව බැංකුකරණයේ විශිෂ්ටත්වය තුළින් ජාතිය සවිබල ගැන්වීමේ කාර්යභාරය වෙනුවෙන් ඉදිරියටත් කැප වන බව සහතික කරයි.