රනිල් ප්‍රමුඛ ආණ්ඩුව රට පුරා බිය-සැක පැතිරවීම අරඹලා

0
144

ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් කතා කරන අය දඩයම් කිරීම පිළිබඳව මානසික භීතියක් ආණ්ඩුව රටපුරාම ඇති කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රචාරක ලේකම්, විජිත හේරත්  පවසියි.

ආර්ථිකය කාබාසිනියා කළ හොර තක්කඩින්ට ජනතාව බිය වැද්දීමට ඇති අයිතිය කුමක්දැයි පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රශ්න කළේය.

විජිත හේරත් මහතා එහිදී මෙසේද කීය.

රනිල් – රාජපක්ෂ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නොදී, ජනතාව වෙනුවෙන් හඬනඟන කණ්ඩායම් මර්දනය කරන්න දිගින් දිගටම ක්‍රියා කරනවා. ආණ්ඩුවේ මේ ක්‍රියාව වහාම නතර කරන ලෙස අපි බලපෑම් කරනවා. අපේ රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වී ඩොලර් බිලියන 52ක ණය කන්දක් ජනතාව මත ගොඩගැසී තිබෙනවා. මේ අවුරුද්දේ ගෙවන්න තිබුණු ඩොලර් බිලියන 7ක ණය වාරිකය තුළ ජාත්‍යන්තර ස්වෛරී බැ¾දුම්කර ගෙවීම නතර කර තිබෙනවා. රට තුළ උද්ධමනය 60% ඉක්මවා ගිහින්. ආහාර උද්ධමනය ඊට වඩා තවත් වැඩියි. ගෑස්, ඉන්ධන සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තවමත් අවසන් නැහැ. පොහොර හිඟය, ඔෟෂධ හිඟය, රෝගීන් ප්‍රවාහනයට පවා තෙල් නැති වීම සහ දරු ප්‍රසූතියට ගෙන යා නොහැකි වීමෙන් දෙදෙනාම මියයෑම වැනි බරපතළ ගැටලු රාශියක් ඇතිවී තිබෙනවා. වත්මන් ජනාධිපති හෝ මේ සමාජ ආර්ථික දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම සැලසුමක් නැහැ. ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් දවසකට ඉන්ධන පෝලිම්වල ඉන්නවා. දවසක වැටුප රුපියල් දහසක් කියා සිතුවොත් අඩුම වශයෙන් කෝටි 40ක මිනිස් ශ්‍රම පැය විනාශ වී යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට පාසල් හරියට පවත්වාගෙන යන්නේ නැහැ. ඔන්ලයින් අසාර්ථක බව වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

රටපුරාම සිටින ජනතාව තමන්ගේ අයිතීන් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කළා. රටපුරා උද්ඝෝෂණවල සංකේතාත්මක හඬ ගෝල්ෆේස් පිටියේ ඉතාමත් සෞන්දර්යාත්මකව ආදරයේ අරගලයක් හැටියට විවිධ ජන කොටස් සහභාගි වී පවත්වාගෙන ගියා. එදා සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී ආදරයේ අරගලය රාජපක්ෂ මැර කල්ලියේ ප්‍රහාරයෙන් මැයි 09 වැනිදා චප්ප කර දැම්මා. පොලිසිය බලාගෙන සිටියදී රාජ්‍ය බලය පාවිච්චි කරලා, මිලියන සංඛ්‍යාත ජනකායක් සජීවීව බලා සිටියදී ආදරයේ අරගලයට ප්‍රචණ්ඩත්වය මුදාහැරි රාජ්‍ය ත්‍රස්තවාදය නීතිය හමුවට ගෙන  ආවේ නැහැ. මේ තුළින් අරගලය උත්සන්න වී මිලියන ගණන් ජනතාව එකතු වුණා. පාලකයන් පලවා හැරීමට  ජූලි 09 වැනිදා ශක්තිමත්ව ඉදිරියට ආවා. ගෝඨාභය රාජපක්ෂ එලවා දැමුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් පත් වුණා. රනිල්-රාජපක්ෂ තමන්ට බලයට එන්න රැකවරණය දුන් රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කිරීමට හදිසි නීතිය පනවලා මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් ඇරැඹුණු ගෝල්ෆේස් අරගලයේ නායකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් කතා කරන අය දඩයම් කරනවා. ඇරගල කරන තරුණ තරුණියන්ට ත්‍රස්ථවාදී ලේබලය අලවලා

හොර නායකයන් රටේ ජනාධිපති ධුරය දරන විට, හොරකම් කළ අය ඇමැති මණ්ඩලයට පත්වී විධායකය මෙහෙය වන විට තරුණ තරුණියෝ ඊට විරුද්ධව සාමකාමී අරගලයක් කරනවා. ඒ අරගලය මර්දනය කරන්න රනිල්-රාජපක්ෂ විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. අද කැබිනට් මණ්ඩලයේ මුල් පුටුවේ ඉන්නේ මහ බැංකු මංකොල්ලයේ මහ මොළකරු. මිලියන 62ක් කප්පම් ගත්ත බවට මහාධිකරණයේ ඔප්පු වුණු පුද්ගලයන් අමාත්‍ය ධුර දරනවා. මේ තක්කඩි ටික කැබිනට් එක අල්ලාගෙන ඉන්න අතර, ඊට විරුද්ධව අරගල කරන යුක්තිගරුක සාධාරණ තරුණ තරුණියන්ව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කරල රටින් බැහැර වීම තහනම් නියෝග ගන්නවා.

ජනතාවට අද අවශ්‍ය වෙන්නේ යුක්තිය සහ සාධාරණත්වය. නීතිය අවශ්‍ය වන්නේ ජනතාවට යුක්තිය ඉටුකරන්න. නමුත් අද ක්‍රියාත්මක වෙන්නේ හොරුන්ව රකින ප්‍රතිපත්තියක්. අද තිබෙන්නේ. ආණ්ඩුවක් සහ සමස්ත ජනතාවක් අතර ගැටුමක්. යූ.එන්.පී. ශ්‍රී ලංකා, ජේ.වී.පී., දෙමළ කොංග්‍රස්, මුස්ලිම් කොංග්‍රස්, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සියලු ජනතාව පෝලිම්වල දුක් විඳිනවා. කන්න නැතිව ඉන්නවා. ඉස්පිරිතාලවල බෙහෙත් නැතිව ඉන්නවා. එහෙම ජනතාවක් එක්ක ආණ්ඩුව හැප්පෙන්නේ. එහෙම ජනතාවකගේ අයිතිවාසිකම් බියගුලු, බිය වැද්දීමේ මර්දනයකින් යටපත් කරන්න බැහැ.

රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන බිය වැද්දීමේ බියගුලු ක්‍රියාමාර්ග, ලැජ්ජා සහගත ක්‍රියාමාර්ග වහා නතර කළ යුතුයි. ජනතාව බිය වැද්දීම සහ මර්දනය නවත්වා, ඇත්ත ප්‍රශ්නවලට වහාම උත්තර දිය යුතුයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වහාම සාක්ෂාත් කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. අරගලය නැවැත්වීමට තිබෙන එකම උත්තරය ඒක විතරයි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු-

ප්‍රශ්නය –

අරගලකරුවන් අත්අඩංගුවට ගත්තේ පොදු දේපළ විනාශ කිරීමේ චෝදනා මත. නමුත් පසුගිය කාලයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේදී භාණ්ඩ කඩා දැමීම, පොදු දේපළ විනාශයක් නොවෙයිද?

පිළිතුර –

පාර්ලිමේන්තුවේ තිබෙන පොදු දේපළ හානි කළ ආකාරය ලක්ෂ ගණනක් සජීවීව දැක්කා. මේ සම්බන්ධයෙන් පෞද්ගලිකවම මමත් වැලිකඩ පොලිසියට පැමිණිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි තට්ටුවේදී පැය දෙකහමාරක් විතර මමත් කටඋත්තර දුන්නා. මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ පාර්ලිමේන්තුවේ පොදු දේපළ විනාශ කිරීම පිළිබඳව කිසිකෙනකුට දඬුවම් කර නැහැ.

ප්‍රශ්නය –

සාමකාමී අරගලයක් කීවත් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන අපි දැක්කා. ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ?

පිළිතුර –

විවිධ පුද්ගලයෝ අරගලයේ මූලික අරමුණුවලට පටහැනිව ක්‍රියාකරනව අපි දැක්කා. අපි කිසිසේත්ම එවැනි ක්‍රියා අනුමත කරන්නේ නැහැ. සමහර මාධ්‍යවේදීන්ගේ කැමරාවලට පවා හානිකර තිබුණා. මෙය පොදු අරගලයක්. නිශ්චිත නායකත්වයක් යටතේ මෙහෙය වූ එකක් නොවෙයි. ඒ නිසා විවිධ පුද්ගලයන් අතින් අරගලයේ පොදු අරමුණුවලට හානිදායක සිදුවීම් සිදුකර තිබුණා. අපි කිසිසේත්ම එවැනි ක්‍රියා අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය –

පෙරටුගාමී කාර්යාලයට පොලිසිය ගිහින් තිබුණා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර

මේ මර්දනය අදට හෙටට අනිද්දා ට කියලා තමන්ගේ ‍ෙදාරට තට්ටු කරනකම් සමහර අය නිහඬව ඉන්නවා. නමුත් එහෙම බලා ඉන්න එපා කියලා අපි අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. හෙට ඔබේ ගෙදරට මර්දනය එනවා. මේක පොදු ජනතාවටම එරෙහිව ගෙනයන මර්දනයක්. ඒකට එරෙහිව පක්ෂ, පාට භේදයකින් තොරව අපි පෙළ ගැහෙන්න ඕනෑ. සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, සහ වෘත්තීය සමිති, මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එක්වී මෙම තත්ත්වය වළක්වා ගැනීමට ක්‍රියා කළ යුතුයි.

ප්‍රශ්නය –

ගෝඨාභය රාජපක්ෂ නැවත එන බව කියා තිබෙනවා නේද?

පිළිතුර –

සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ලංකාවට එන්න පුළුවන්. පැමිණීමේ අයිතියක් ඔහුට තිබෙනවා. ඔහුට විරුද්ධව තිබුණු නඩු නැවත ආරම්භ කළ යුතුව තිබෙනවා. විවිධ චෝදනා ඔහුට තිබුණා. ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදිය යුතුයි.

අනුරාධා හේරත්