මෛත්‍රි මැනිලා නුවරදී ලෝකෙන්ම උදවු ඉල්ලයි

0
133

රටක් ලෙස ශ්‍රී  ලංකාව මුහුණ දී ඇති අසීරු අවස්ථාවේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගිතාව, සහෝදරත්වය රාජ්‍ය නායකයකු ලෙස තමා අපේක්ෂා කරන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය. පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සම්මේලනයේ ප්‍රධාන ආරාධිත දේශනය කරමින් හිටපු ජනපතිවරයා මේ අයුරින් රට ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඉල්ලා සිටියේය.

ලෝක ආහාර වැඩසටහනේ දත්තවලට අනුව මෙරට පුද්ගලයන් මිලියන 6.3ක් ආහාර හිඟයකට මුහුණදී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

දශක තුනකට ආසන්න කාලයක් සිවිල් යුද තත්ත්වයක් නිසා බිඳ වැටී තිබූ ශ්‍රී  ලංකාවේ ආර්ථිකය 2009 වසරේ යුද ගැටුම් නිමාවීමත් සමඟ ප්‍රකෘතිමත් වනු ඇතැයි ශ්‍රී  ලාංකිකයන් පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්ෂා කළ කරුණක් බව එහිදී හිටපු ජනපතිවරයා පැවැසීය.

එහෙත් මේ වන විට රාජ්‍ය දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී අවසන් බවද හෙතෙම අවධාරණය කළේය.

එම අර්බුදය නිසා මතු වූ දේශපාලන අස්ථාවරත්වය හා ජන ජීවිතය අඩාලවීම දරාගත නොහැකි යැයිද හිටපු ජනපති කීය.

අත්‍යවශ්‍ය ආහාර, ඔෟෂධ, ඉන්ධන පොහොර ආදිය සපයාගැනීම පවා දැඩි අවදානමකට ලක්ව තිබෙන බවද ඔහු පැවැසීය.

සවනි ශේශාධි