බොරුවට රඟපෑ ගුවන් හමුදා කෝප්‍රල්ට වැඩ වරදී

0
16

ගුවන් හමුදා භටයෙක් පැහැරගෙන ගොස් නිරුවත් කොට ගසක බැඳ පහරදීමේ සිද්ධියක් සම්බන්ධව සමාජ මාධය තුළ පැතිර ගිය පුවතට අදාළ ගුවන් හමුදා කෝප්‍රල්වරයාට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

ඒ, එම ක්‍රියාව ඔහු විසින්ම ව්‍යාජ ලෙස සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිවීම නිසාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකළපුව කඳවුරට අනුයුක්තව සේවය කරන ලද මෙම කෝප්‍රල්වරයා ඉකුත් මස 28 වැනිදා වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේ ගසක බැඳ සිටියදී ඒ අවට ප්‍රදේශවාසීන් දැක ඒ බව වාලච්චේන පොලිසියට දැනුම්දී ඇත.

මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා ගැටගසා සිටි ස්ථානයේ ‘කෘෘර දේශපාලනයට උදවු කරන ගැත්තන් මේ  විදිහට තමයි මරන්නේ’ යනුවෙන් සඳහන් දමිළ භාෂාවෙන් ලියන ලද දැන්වීම් පුවරුවක්ද තිබී පොලිසිය සොයාගෙන තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී ගුවන් හමුදා කෝප්‍රල්වරයා පොලිසියට පවසා ඇත්තේ නිවාඩු ගොස් එමින් සිටියදී කිසියම් පිරිසක් වෑන් රථයකින් ඔහු පැහැරගෙන ගොස් අත්පා ගැටගසා ගසක බැඳ පහරදී මරා දමන්නට උත්සාහ කළ බවය.

කෙසේ වෙතත් පොලිසිය කළ විමර්ශනයේදී කෝප්‍රල්වරයා විසින් ලබාදුන් ප්‍රකාශය සහ කරුණු සොයා බැලීමේදී හෙළිවූ තොරතුරුවල තිබූ පරස්පර විරෝධීභාවය හේතුවෙන් සහ ඔහු අසල තිබූ දමිළ භාෂාවෙන් ලියන ලද පුවරුව ගැනද සැකයක් ඇතිවීම මත විමර්ශන ඉදිරියට සිදුකර තිබේ.

එහිදී එම දමිළ පුවරුව ලියා ඇත්තේ දෙමළ භාෂාව සම්බන්ධ කිසිදු පරිචයක් නොමැති පුද්ගලයකු බව නිලධාරීන්ට වැටහී ගොස් තිබේ. පසුව ඒ පිළිබඳ කෝප්‍රල්වරයාගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු එම ක්‍රියාව ඔහු විසින්ම සිදුකරන ලද්දක් බවට හෙළිවී තිබේ.

සැකකාර කෝප්‍රල්වරයා අන්තර්ජාල පරිගණක සූදු ක්‍රීඩාවලට දැඩි ලෙස ඇබ්බැහිවී සිටි අයකු බවත් ඒ සඳහා තම කඳවුරේ සහෝදර ගුවන් භටයන්ගෙන් මුදල් ලබාගෙන නැවත එම මුදල් ඔවුනට ලබාදීමට අපොහොසත් වීම නිසා සිය දිවි නසා ගන්නට උත්සාහ කර ඇති බවත් හෙළිවී තිබේ. පසුව එලෙස දිවි නසා ගතහොත් ගුවන් හමුදාවෙන් ලැබෙන දීමනා බිරියට නොලැබෙන බැවින් මෙම ව්‍යාජ ක්‍රියාව සැලසුම් කර තිබේ.

සැකකාර කෝප්‍රල්වරයා වාලච්චේන පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම විමර්ශන අවසානයේදී ඔහු විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රතිරූපයට කළ හානිය සම්බන්ධයෙන් ගුවන් හමුදා නීතියට අනුව නීත්‍යනුකූලව කටයුතු කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කළේය.

කීර්ති මෙන්ඩිස්