බරණගේ ඝාතනයට සැක තිදෙනෙක් අත්අඩංගුවට

0
14

ඉකුත්දා ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේදී විදුලි සැර වද්දවා ඝාතනය කර තිබූ කලාවැව බරණ හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කළ ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (31දා) කැකිරාව දිසා මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. ජාතික නාමල් උයනට යාබද ඉඩමක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටියදී ඉකුත් 26 වැනිදා වනජීවී නිලධාරීන් විසින් බරණ හස්තියාගේ සිරුර සොයාගෙන තිබිණි. මිය ගිය බරණ හස්තියාගේ මරණ පරීක්ෂණය ඉකුත් 27 වැනිදා වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් සිදුකළ අතර එහිදී අනාවරණය වූයේ විදුලි සැර වැදීමෙන් බරණ හස්තියා මියගොස් ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් විමර්ශන ආරම්භ කෙරිණ. එම විමර්ශන අනුව ඊයේ (31දා) උදෑසන වන විට බරණගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු හා නඩු භාණ්ඩ රැසක්ද අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට හැකිව තිබිණි.

ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ බරණට මරු කැඳවූ බව කියන එම අනවසර විදුලි වැටට විදුලිය ලබාදුන් බව කියන නිවෙසේ හිමිකරුද විදුලි සැර වැදීමෙන් බරණ මියගිය පසු එම ස්ථානයේ තිබූ අනවසර විදුලි කම්බි ගලවා ඉවත් කිරීමට එක්වූ බව කියන පුද්ගලයෙකි. ඔවුන් ගල්කිරියාගම උල්පතගම වයස අවුරුදු 38 හා 30 යන වයස්වල පසුවන්නෝ වෙති. වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරු වන්නේ එම අනවසර විදුලි වැට ඉදිකර තිබූ ඉඩමේ හිමිකරු බව කියන වවුනියාව මහකච්චකොඩිය අලුත්වත්ත යන ලිපිනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

හස්තියාගේ ඝාතනය  සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් එම සැකකරු පොලිස් දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කරන අයකු බවටද හඳුනාගෙන තිබේ.

ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රේමසිරි විතානගේ මහතාගේ හා අඩවි සහකාර  එච්.එස්. බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත වන සත්ත්ව නියාමකවරුන් වන ඩී.එම්.කේ.ඩී. දසනායක, ඩබ්ලිව්.එස්.එල්. විජේසිංහ හා ක්‍ෂේත්‍ර සහයකවරුන් වන එම්.ඩී.බී. දර්ශන, ඊ.එම්.එස්.එන්. ඒකනායක,  ස්වේච්ඡා මාර්ගෝපදේශ ඩී.එම්. ආනන්ද බණ්ඩාර, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන ඊ.එම්.එල්.එස්.කේ. ඒකනායක, සම්පත් වීරසූරිය, සී. සීකුමාර හා රියැදුරු අමිල චින්තක ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුරටත් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරති.

මඩාටුගම – ප්‍රසංග ඒකනායක

අනුරාධපුර-ආනන්ද කරුණාදාස