පියාගේ අවවාදයට කිපී නිවසින් ගිය සිසුවියගේ සිරුර කහව වෙරළේ

0
14

අම්බලන්ගොඩ කහව මුහුදු වෙරළේ තිබී මියගිය පාසල් සිසුවියකගේ සිරුරක් ඊයේ (31දා) පෙරවරුවේ අම්බලන්ගොඩ පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම මළසිරුර ගල්දූව, කහව පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියගේ බවට ඇයගේ පියා විසින් හඳුනාගෙන තිබේ.

මියගිය සිසුවිය කහව ප්‍රදේශයේ පාසලක 09 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇති බවද (30දා) සන්ධ්‍යාවේ සිය පියා විසින් දෙන ලද අවවාදයක් හේතුවෙන් දැරිය රාත්‍රි 8.50ට  පමණ නිවෙසින් පිටව ගොස් ඇති බවත් සිත්තැවුල හේතුවෙන් මුහුදට පැන සියදිවි නසා ගන්නට ඇතැයි සැක කරන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.

නිවෙසේ භාවිත කරන ජංගම දුරකථනයට පිරිමි ළමයකු විසින් එවන ලද පණිවුඩයක් සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් දැරියට අවවාද හා තරවටු කර තිබෙන බවද පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි. දැරිය නිවෙසින් අතුරුදන් වී ඇති බවට පෙරේදා (30දා) රාත්‍රියේම දැරියගේ පියා විසින් මීටියාගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

අම්බලන්ගොඩ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන සුනිල් හේවගේ (58496) සහ දුමේන්ද්‍ර (46587) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

බළපිටිය – දම්සරී ලියනගේ