‘පස් පොඩ්ඩා’ සමඟ වෙඩි ප්‍රහාරයට ලක්වූ තවත් අයෙක් මියයයි

0
10

ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඉකුත් 27 වැනිදා දහවල් පස් පොඩ්ඩා නමැත්තාව ඉලක්ක කරගනිමින් නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි පහරට ලක්ව බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු පෙරේදා (30දා) අලුයම මියගොස් ඇත.

කොටුගොඩ මදුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බස්නායක අප්පුහාමිලාගේ ගාමිණි පියතිලක තිසේරා නමැති අයකු මෙසේ මියගොස් ඇත. වැගන් ආර් වර්ගයේ රථයකින් පැමිණි කණ්ඩායමක් සමඟ පැමිණි අයකු ටී 56 ගිනි අවියකින් එල්ල කළ වෙඩි පහරින් කෙහෙල්බද්දර ප්‍රදේශයේ සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා නමැති අය බරපතළ තුවාල ලබා ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම (27දා) මියගොස් තිබිණි. එම වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ තවත් දෙදෙනකු ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුර නිරීක්ෂණය කළ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට වැඩිදුරටත්  නියම කළාය. පශ්චාත් මරණය පරීක්ෂණයෙන් පසු එම මළ සිරුර ඥාතීන්ට භාර දෙන ලෙසට රෝහල් බලධාරීන්ට නියම කෙරිණි. මරණය සම්බන්ධයෙන් වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ලබන 10 වැනිදාට පැවැත්වීමට නියම විය.

සාක්ෂිකරුවන් එදිනට (10දා) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් ගම්පහ පොලිසියට වැඩිදුරටත් නියම කෙරිණි.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල