නාගස්හන්දියේ දුම්රිය අනතුරින් හමුදා සෙබළකු හා තවත් අයෙක් මරුට

0
16

වීරවිල ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනකු ගමන් ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කළුතර උතුර නාගස්හන්දිය දුම්රිය හරස්මඟේ්දී ඊයේ (31දා) අලුයම භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක ගැටී සිදු වූ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළකු මියගොස් තවත් සෙබළකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ යූ.ජී. සුගත් හර්ශක ගමගේ නමැති 40 හැවිරිදි සෙබළෙක් හා වෑන් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාද මියගොස් ඇත. බුත්තල ප්‍රදේශයේ පදිංචි සෙබළකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කීය.

අලුයම 1.35ට පමණ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර, වැන් රථයද කළුතර දෙස සිට දුම්රිය සමාන්තර පාර ඔස්සේ පැමිණ මුහුදු වෙරළ දෙස සිට ගාලු පාර දෙසට දුම්රිය හරස් මඟ හරහා යොමු කිරීමේදී දුම්රියේ ගැටී මීටර් 20ක් පමණ දුරට විසිවී අසල තිබූ තාප්පයක ගැටී කානුවකට වැටී නතර වී ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූ  සෙබළුන් දෙදෙනා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් සෙබළකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අනතුරෙන් සුඛා්පභෝගී වෑන් රථයට දැඩි හානි සිදුව තිබිණි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි සැරයන් පුෂ්පවෙල (55325) සහ කොස්තාපල් හේරත් (49782) මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය – සුමිත් රණවක