නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය 3දා උත්සවාකාරයෙන්

0
14

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි  සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 3දා පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කරනු ලබයි. පාර්ලිමේන්තුව වාර  අවසාන කොට නැවත ආරම්භ කරන උත්සවය සඳහා මීට පෙර ජනාධිපතිවරුන්  ජනාධිපති ධජය පාවිච්චි කළ නමුත් මෙවර රාජ්‍ය ලාංඡනය සහ ජාතික ධජය පමණක් පාවිච්චි කෙරෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘මව්බිම’ට  පැවැසීය. ජනාධිපති   ධජය අහෝසි කොට ඒ වෙනුවට ජාතික ධජය පාවිච්චි කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දිවුරුම් දීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීම නිසා මේ පියවර ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) ව්‍යවස්ථාවෙන්  ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව ජූලි 28දා වාරාවසාන කෙරිණි.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි  සභාවාරය විවෘත කරන්නට එන ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා උත්තමාචාර මධ්‍යයේ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම අසලදී පිළිගනු ලබන අතර අනතුරුව සිසු සිසුවියන්ගේ ජය මංගල සජ්ජායනය සිදු කෙරේ.සෙංකෝලය රැගත් වේත්‍රධාරිවරයා පෙරටු කර ගනිමින් කථානායකවරයා විසින් ජනාධිපතිවරයා සභාගර්භයට  කැඳවාගෙන එනු ලබන අතර එහිදී ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.මෙහිදී ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි