දෙල්ගොඩ නිවෙසක තනිව සිටි තරුණියකගේ ගෙල කපා මරා දමලා

0
13

දෙල්ගොඩ  කඳුබොඩ ප්‍රදේශයේ නිවෙසක තනිව සිටි සංවර්ධන නිලධාරිනියක ඝාතනය කිරීමට සැකපිට එම නිවෙස ඉදිකිරීමට පැමිණි පෑස්සුම් ශිල්පියකු ඉකුත්දා (26දා) කුණ්ඩසාලේ ප්‍රදේශයේදී  පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  කුණ්ඩසාලේ  නත්තරන්පොත පුදේශයේ පදිංචි  තිස්තුන් වියැති විවාහක පුද්ගලයෙකි. තමා විසින් මෙම ඝාතනය කළ බව එම සැකකරු පොලිසිය වෙත පසුව පාපොච්චාරණයක් කර ඇත.  

ඉකුත්දා (12දා) රාත්‍රි කඳුබොඩ ප්‍රදේශයේ තම නිවෙසේ තනිව සිටි 42 හැවිරදි තරුණියකගේ ශරීරයේ එකොළොස් පොළකට පිහියෙන් ඇන ගෙල කපා සිය නිදියහන මත ඝාතනය කර තිබිණි.

ඝාතනය කර තිබුණේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කළ ලංකා ගනේෂි පනාපිටිය (42) නමැති තරුණියකි.                     

ඝාතනය වූ කාන්තාවගේ නිවෙසේ ඉදිකිරීම්  කළ මීපේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු පෑස්සුම්කරුවන්  අවශ්‍ය බවට පුවත්පතක දැමූ දැන්වීමකට අනුව කුණ්ඩසාලේ නත්තරන්පොත  ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු මීපේ ප්‍රදේශයේ  කොන්ත්‍රාත්කරු ළඟ පෑස්සුම්කරුවකු ලෙස මෑතකදී  රැකියාවට පැමිණ තිබේ.

කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි මෙම  තරුණියගේ නිවෙසේ යකඩ වැටක් ඉදිකිරීම සඳහා මෙම සැකකරු යොදවා ඇති  බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි. දින තුනක් එම නිවෙසේ යකඩ වැට ඉදිකිරීමේ නිරත වූ සැකකරු තෙවැනි දිනයේ උදෑසන  නිවෙසේ තනිව සිටින තරුණියගේ රන් භාණ්ඩ හා මුදල් සොරාගැනීමේ අරමුණින් එම නිවසේ  කොන්ක්‍රිට් කණුවක් දිගේ ඉහළට ගොස් උඩුමහලේ විවෘත කර තිබූ  ජනේලයකින් ගෙතුළට රිංගා ඇති බව පොලිසිය කියයි.

එහිදී සැකකරු දුටු තරුණිය උදවු ඉල්ලා කෑ ගසා තිබේ. ඇගේ කෑ ගැසීම හා දැඟලීම නැවැත්වීමට සැකකරු කිහිපවිටක්ම උත්සාහ කර පසුව කොට්ටයක් ඇගේ මුවට තබා තද කර කාමරයේ මේසය මත තිබූ පිහියකින් ඇගේ ගෙල ප්‍රදේශයට ඇන මෙම ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. පසුව සැකකරු ඇගේ ගෙලේ තිබූ කුඩා රන් මාලය සහ පාදයේ තිබූ පාසලඹද ගලවාගෙන ඇගේ මුදල් පසුම්බියේ වූ රුපියල් තිස්දාහක මුදලක් හා ජංගම දුරකථනයද සොරාගෙන එම නිවෙසින් බැහැරව එදින රාත්‍රි කොළඹට පැමිණ පාන්දර බසයකින් කුණ්ඩසාලේ ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව පොලිසිය කියයි.

කොන්ත්‍රාත්කරු හමුවී සැකකරු පිළිබඳව පොලිසිය තොරතුරු විමසා සිටියත් ඔහු යටතේ සේවය කළ අදාළ සැකකරු පිළිබඳව කිසිදු තොරතුරක් කොන්ත්‍රාත්කරු ළඟ තිබී නොමැති බව පොලිසිය කියයි. සැකකරු මීට පෙර රැකියාව කළ ආයතන සේවකයෙක්ගෙන් ලද තොරතුරක් මත මහත් පරිශ්‍රමයක් දරා සැකකරු කොටුකරගත් බව පොලිසිය පවසයි. සොරාගත් රන් මාලය සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ සවර්ණාභරණ හලකට උකස් කර රුපියල් 63,000ක මුදලක් ලබාගෙන ඇති බවත් සොරාගත් ජංගම දුරකථනය සැකකරුගේ භාර්යාවට ලබාදී තිබූ බවද පොලිසිය පවසයි.

රන් මාලය සහ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති අතර සොරබඩු ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුගේ භාර්යාවද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් නිවෙසේ ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාකරුගේ සහායක් ලැබී තිබේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවද පොලිසිය පවසයි.

සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කැලණිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත, සහකාර පොලිස් අධිකාරි  දිස්ත්‍රික්  06 ධනංජය පෙරමුණ යන මහත්වරුන්ගේ   මඟපෙන්වීම යටතේ මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඒ. විමලරත්න, පොලිස් සැරයන්වරුන් වන සුමේද (35434), ලක්මාල් (53921), පොලිස් කොස්තාපල්වරුන් වන  ලක්ෂිත (77931), රාජපක්ෂ (88789), කාන්තා පොලිස් කොස්තාපල් පියුම් (11241), පොලිස් රියැදුරු ප්‍රදිප් (15179) යන නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.

දෙල්ගොඩ – බිහදු විනුවර බියගම  – කේ. දුමින්ද