දුවගේ යාළුවෝ ගැන මීට වඩා හොයලා බැලුවොත් නරකද?

0
71

යොවුන් විය යනු ජීවිතයේ සුවිශේෂී සහ ප්‍රබෝධවත්ම අවධියයි. මෙම කාලය තුළ ගැහැනු දරුවකුගේ කායික සහ මානසික වෙනස්කම් රැසක් සිදුවනු ලබන බව කවුරුත් දන්නා කරුණක්. යෞවනියන්ගේ මෙම කායික සහ මානසික වෙනස්වීම් මත ඔවුන් සිතුවිලිවලින් පවා වෙනස් වන අතර දරුවන්  නිසා වැඩිහිටියන්ද යම් යම් සංකීර්ණතාවන්ට මුහුණ දෙන බව අපිට දැකිය හැකිය. මෙම වයසෙහි පසුවන දරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ තමාගේ ජීවිතයට ගැළපෙන යහළුවන් තෝරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.

තමාට මිතුරියක නැතිනම් තමා කොන්වේවි, තනිවේවි යන මතයන් ඔවුන්ගේ සිත තුළට කා වැදී ඇති අතර එම නිසාම ඔවුන් තම ඇසුරට සුදුසු වේවා නුසුදුසු වේවා ඕනෑම  මිතුරකු මිතුරියක තෝරා ගනු ලබයි. එහෙත් ජීවිතයේ තීරණාත්මක අවධියක් වන යොවුන් අවධිය තුළ ඇසුරු කරන පුද්ගලයන් මත තමාගේ අධ්‍යාපනය, ගතිගුණ, ක්‍රියාවන් සියල්ලක්ම අනාගතයට බලපානු ලබන බැවින් වගකීමකින් යුතුව මිතුරියන් මිතුරන් තෝරා ගැනීම යොවුන් වියේ පසු වන්නියකට අවශ්‍යම දෙයකි.

යෞවනයේ පසුවන ගැහැනු ළමයකුට හෝ පිරිමි ළමයකුට හොඳ මිතුරකු සිටිනවා යනු එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට මහත් ආලෝකයකි. එය ඔවුන්ගේ ජීවිතයට  විවිධාකාරයෙන් උපයෝගි වේ. තම සිතෙහි පවතින සිතුවිලි, හැඟීම් සහ නව අත්දැකීම් බෙදා හදා ගන්නට අනිවාර්යයෙන්ම මිත්‍ර සමාගමයක්  අවැසිය. නමුත් යොවුන් වියෙහි පසුවන දරුවන් මෙම කාලය තුළදී තරමක් මවුපියන්ගෙන් දුරස් වී කටයුතු කරන අතර ඔවුන් බොහෝ විට එක්කාසු වන්නේ සම වයස් කාණ්ඩ සමඟය.

තමා නිවැරදි ආකාරයට යහළුවකු තෝරා ගන්නේ කෙසේද යන්න යොවුන් වියේ පසුවන දරුවකු හට මතුවන ප්‍රධාන ගැටලුවක්. හොඳ මිතුරකු නැතිනම් මිතුරියක යනු තමන් හා සමාන සිතුම් පැතුම් තිබෙන තමා අගය කළ හැකි කෙනෙකි. එහෙත් යෞවනත්වයට පත්වන විට කුඩා කාලයට වඩා මෙම කාලයේදී ශක්තිමත් මිත්‍රත්වයක් අනිවාර්යයෙන් අවශ්‍යමය.  එබැවින්  ඔබේ යොවුන් දියණිය මිතුරකු හෝ මිතුරියක සොයා ගන්නවා නම්  ඇය මුලින්ම කළ යුත්තේ ඔහු හෝ ඇය තුළ තිබෙන හොඳ ගතිගුණ මොනවාද  යන්න සොයා බැලීමයි.  එසේම මෙම කාල වකවානුව දියණියගේ  ජීවිතයේ සුන්දර කාලයක් බැවින් යහපත් මිතුරු ඇසුර ඇයගේ ජීවිතයට වැදගත් මඟ පෙන්වන්නක්.  එම නිසා ඇයගේ ජීවිතයට ප්‍රතිපත්තිගරුක මිතුරියක් හෝ මිතුරකු තෝරා ගැනීම අතිශය වැදගත් වේ. එවැනි මිතුරන් ලැබීම ඔබගේ දියණියගේ  භාග්‍යයක් වන අතර මවුපියන්ගේ ප්‍රධාන වගකීම වන්නේ තම දියණිය හට යහපත් මිතුරකු හෝ මිතුරියක්   සොයා ගත යුතු වන්නේ කෙසේද යන්න උපදෙස් ලබා දීමයි. එහිදී ඔබගේ දියණියට   මිතුරියක් හෝ මිතුරකු දැනටමත් සිටිනවා නම් නැතිනම් ඇය සොයා ගන්නට බලාපොරොත්තු වෙනවා නම් පහත කරුණු කෙරෙහි දියණියව දැනුවත් කිරීම වැදගත් වේ. එසේම මවුපියන් වන ඔබද දියණියගේ මිතුරන් සතුව පහත කරුණු තිබේදැයි විමසා බැලීම සුදුසුය.

–              ඔබේ දරුවා දැනට ආශ්‍රය කරන මිතුරා හෝ මිතුරිය නිසා දරුවාට සමාජයෙන් තිබෙන පිළිගැනීම අඩු වී තිබේද? වැඩි වී තිබේද?

–              සම වයස් කණ්ඩායම් නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට දියුණුවක් ලැබෙයිද?

–              ඔවුන් නිසා දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ඉඩකඩ වැඩියිද? ඇබ්බැහි වෙයිද?

–              දරුවා ඇසුරු කරන මිතුරු මිතුරියන් නිසා දරුවාට  ප්‍රශංසා ලැබෙයිද? චෝදනා එල්ල වෙයිද?

–              දරුවාගේ මිතුරා හෝ මිතුරිය ආගමික කටයුතුවලට තිබෙන නැඹුරුව වැඩියිද? අඩුයිද?

–              දරුවා ඇසුරු කරන මිතුරු මිතුරියන් නිසා දරුවාගේ  ආත්ම අභිමානය වැඩි වී තිබේද? අඩු වී තිබේද?

මවුපියන් ලෙස ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කළහොත් ඔබට ඔබගේ දරුවා ඇසුරු කරන යහළුවන් පිළිබඳ තක්සේරුවක යෙදිය හැකිය. එසේම දරුවාගේ මිතුරු මිතුරියන් සිදු කරන යම් යම් ක්‍රියාවන් ඔබගේ හෘද සාක්ෂියට එකඟද නැද්ද යන වග සිතා බැලීම  මවුපියන් වන ඔබගේ වගකීමකි. එසේ එකඟ නැතිනම් එම මිතුරා හෝ මිතුරිය ප්‍රතික්ෂේප කරන්න යැයි දරුවාට පැවැසීමට ඔබට හැකිය. තවද දරුවා තෝරා ගන්නා යහළුවන් දරුවාගේ ආත්ම අභිමානය සහ ආත්ම ශක්තිය හීන කරනවා නම් ඔවුන් දරුවාගේ ජීවිතයෙහි දියුණුවට සුදුසු යහළුවන් නොවන බව දරුවාට තේරුම් කර දීම දරුවාගේ ඉදිරි ජීවිතයට මනා පිටිවහලකි.

යොවුන් වියට පත්වුණු පසු දරුවකු කායික වශයෙන්, මානසික වශයෙන්, සදාචාරාත්මක වශයෙන් සහ චිත්තවේගීය වශයෙන් යම් කිසි පරිණතභාවයකට පත්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙම වයසෙහි පසුවන දරුවන් තුළ ඇතිවන හැඟීම් දැනීම් තේරුම් ගැනීමට බොහෝ මවුපියන් අසමත් වෙයි. මීට පෙර අවධියේදී එනම් මැද ළමා විය අවධියේදී දරුවන් ඒක ලිංගික පාර්ශ්වයන් ආශ්‍රය කරන අතර යොවුන් වියට එළඹීමත් සමඟ ඔවුන් ප්‍රති විරුද්ධ ලිංගිකයන්ද තම මිතුරන් සඳහා තෝරා ගනු ලබයි. මෙහිදී තම දියණිය ඇසුරු කරන්නේ කුමන ආකාරයේ මිතුරියන්ද මිතුරන්ද යන වග මවුපියන් වශයෙන් සොයා බැලිය යුතුය. ඇතැම් වෙලාවට මවුපියන් තම දියණිය පිරිමි මිතුරකු ආශ්‍රය කිරීම වැරදි ආකාරයට වටහා ගන්නා අතර එය ප්‍රේම සබඳතාවක් දක්වා දුර යාවි යැයි ඔවුන් බියක් දක්වති. එහෙත් ඇතැම් මිතුදම් ප්‍රේම සබඳතාවක් දක්වා දිව යෑම සාමාන්‍යයෙන් සිදු වන්නකි. මෙය ස්වාභාවිකව යොවුන් විය තුළ ඇතිවන තත්ත්වයකි. ගැහැනු දරුවකු හොර්මෝන ක්‍රියාකාරිත්වය සමඟ දරුවකු බිහි කිරීමට හැකි ලෙස පරිණත වුවත් තාර්කික ලෙස තීන්දු තීරණ ගැනීමට හැකියාවක් ඔවුන්ට නොමැත. එම නිසා මවුපියන් වශයෙන් සුදුසු යහළුවෙක් තම දියණියගේ ජීවිතයට සොයා දීමට උත්සාහ කළ යුතුය.

විවිධාකාරයේ මවුපියන් සමාජයේ සිටින අතර ඇතැම් මවුපියන් දරුවන් පිළිබඳ කිසිවක් සොයා බලන්නේ නැත. එවැනි දරුවන් හට  සමාජයේ ඕනෑම දෙයක් කිරීමට අසීමිත නිදහසක් ඇත. එසේ වූ විට සිදු වන්නේ අයහපත් මිත්‍ර සමාගම් මඟින් වැරදි ක්‍රියාවන් හට දරුවන් යොමු වීමයි. ඇතැම් මවුපියන් ඕනෑවට වඩා දරුවන් පිළිබඳ සොයා බලන අතර එවැනි මවුපියන් මනෝ විද්‍යාවේදී හ¾දුන්වන්නේ Helicopter parenting නමින්ය. තමාට දරුවන් අහිමි වේවි යැයි නිතරම බියෙන් පෙළෙන මෙම මවුපියන් දරුවන් අනෙක් පසෙට හැරුණත් ඔවුන් පිළිබඳව සොයා බලයි. මෙම වයසේ පසුවන දරුවන් මෙවැනි  මවුපියන් හට කැමැත්තක් දක්වන්නේ නැත. එය ඔවුන්ට හිරිහැරයකි. මෙම රැකවරණය නිසා විටෙක තමා කුඩා දරුවකු යැයි දරුවාට හැඟී යයි.

ඇතැම් මවුපියන් අදූරදර්ශී ලෙස හැසිරෙන අතර ඔවුන් නිතරම දරුවන් හට සැර පරුෂ වචනයෙන් කතා කරයි. මවුපියන් නිවැරදි ලෙස දරුවන් තේරුම් නොගැනීම නිසා දරුවන් හට තරවටු කිරීම සුදුසු බව විශ්වාස කරන අතර  එසේ තරවටු කිරීමෙන් දරුවා නිවැරදි ලෙස ජීවත් වේවි යැයි ඔවුන් සිතයි. නමුත් දරුවා මවුපියන්ගෙන් නොලැබෙන ආදරය නිසා  සමාජයේ වැරදි ක්‍රියාවලට යොමු වේ. එහිදී ප්‍රධාන වන්නේද වැරදි මිතුරු ඇසුරයි. එවැනි ආකාරයේ මවුපියන් මනෝ විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ Toxic parenting ලෙසය.

මේ අතර වගකීමක් නොමැතිව කටයුතු කරන  මවුපියන් පිළිබඳ   අනිවාර්යයෙන්ම කතා කළ යුතු අතර ඇතැම් මවුපියන් හට දරුවන් පිළිබඳ සොයා බැලීමට කාලයක් නැත. එසේ වූ විට දරුවන්ට නිසි මඟ පෙන්වන්නෙක් නොසිටින අතර එම දරුවන්  වැරදි මිත්‍රයන් ඇසුරු කිරීම නිසා විවිධ අපචාරී ක්‍රියාවලට පෙලඹෙයි. එසේ සිදු  වන්නේ මවුපියන් දරුවන් පිළිබඳ  සොයා නොබලන නිසාය. එවැනි මවුපියභාවයක් තුළ දරුවන් නොමඟ යෑමේ සම්භාවිතාව වැඩිය. එවැනි මවුපියන් මනෝ විද්‍යාවේදී හ¾දුන්වන්නේ Š Neglectful parenting යනුවෙනි.

Helicopter parenting තත්ත්වයේ සිටින මවුපියන් සහ Toxic parenting තත්ත්වයේ පසුවන මවුපියන් සමඟ යොවුන් වියේ පසුවන දරුවන් නිතරම ගැටුම් ඇති කර ගන්නා අතර ඔවුන් සෑම විටම උත්සාහ කරන්නේ මවුපියන් සමඟ එකට එක කිරීමටයි. උදාහරණයක් ලෙස මෙම යහළුවා ආශ්‍රය කරන්නට එපා යැයි මවුපියන් පැවැසුවහොත් එම දරුවා එවැනි යහළුවන්වම ආශ්‍රය කිරීමට පෙලඹෙයි. මවුපියන් දරුවන් සමඟ සම්බන්ධතා පවත්වන අකාරය වෙනස් කර ගැනීම මෙයට හොඳම විකල්පය වන අතර දරුවාට හොඳ මිතුරෙක් මිතුරියක් වීම මවුපියන් සතු වගකීමකි. එවිට දරුවන් සතු දේවල් මවුපියන් හට පැවැසීමට ඔවුන් දෙපාරක් සිතන්නේ නැත. එයට හේතුව වන්නේ යහළුවකු යනු විශ්වාසයේ එක්  සංකේතයක්  බැවිනි.

මෙම වයසෙහි පසුවන යෞවනියන් බොහෝ විට තමා ඇසුරෙහි සිටින මිතුරියන් අනුගමනය කිරීමට පෙලඹෙන අතර ඔවුන් උත්සාහ කරන්නේ තම මිතුරිය කතා බස් කරන ආකාරය, සිතන පතන ආකාරය, අඳින පලඳින අකාරය තමාටද ආදේශ කර ගැනීමටයි. එසේම යොවුන් වයසහි පසුවන දරුවන්ගේ ප්‍රධාන සමාජයානු යෝජන කාරකය වන්නේ ඇයගේ සමවයස් කණ්ඩායම් ඇසුරු කිරීමයි. එසේ ඇසුරු නොකළ හොත් සිදුවන්නේ අසම්පූර්ණ පෞරුෂයක් සතු දරුවන් සමාජයට බිහිවීමයි. 

බොහෝ විට තමා පිළිබඳව ඍජුව සොයා බලනවාට මෙම අවධියේ දරුවන් කැමැත්තක් නොදක්වයි. එබැවින් වක්‍රාකාරයෙන් දරුවා සතු රහස් මවුපියන් වන ඔබට දැන ගැනීමට හැකිවිය යුතුය. මෙහිදී වැදගත් කරුණ වන්නේ තම දියණිය ආශ්‍රය කරන මිතුරියන් කුමන ආකාරයේද යන්න සොයා බැලීමයි. එය වක්‍රාකාරයෙන් සොයා බැලිය යුතුය. එමෙන්ම මවුපියන් විසින් දවසේ වෙලාවක් දරුවන් සමඟ කතා කිරීමට යොදාගත යුතුය. එම අවස්ථාවේදී ඉතා සුහදව යහළුවන් පිළිබඳව විමසිය යුතුය. අද බොහෝ විට දරුවන් නොමඟට යෑමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් පිළිබඳව මවුපියන් හට සොයා බැලීමට කාලයක් නොමැති වීමයි. එසේම මෙම වයසේ පසුවන දරුවන් ඔවුන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගැනීමට උනන්දු වන අතර විශේෂයෙන්ම මවුපියන් වන ඔබද එයට උදවු කළ යුතුය.

යොවුන් වියේ පසුවන දියණියකට අනිවාර්යයෙන්ම මව සමීප මිතුරියක් විය යුතුය.  ඇතැම් විට දරුවන් මිතුරියක් තෝරා ගන්නේ  තමාට මිතුරියක් නොසිටියහොත් ආශ්‍රය කරන්නට කිසිවකු නොමැතිවේවි යන බියටය. මවුපියන් ඇයට ළංවීම තුළ එම අඩුව තරමක් දුරට පිරවිය හැකිය. එසේම දරුවා වැරදි මිතුරකු හෝ මිතුරියක ආශ්‍රය කරනවා යනුවෙන් මවුපියන් හට දැනුණොත් ගැටලුවක් නොවන ආකාරයට එයට තම දියණියට නිතර තේරුම් කර දිය යුතුය. එය උපක්‍රමශීලිව සිදුකළ යුතුය. නිතරම තම දරුවා පිළිබඳ දරුවාට නොදැනෙන ලෙස සොයා බැලිය හැකි තවත් ක්‍රමයක් වන්නේ යොවුන් වියේ දියණිය පාසලට, ටියුෂන් පන්තියට, වෙනත් නිතරම යන ස්ථානයක්  තිබෙනවා නම් මවුපියන් වන ඔබ සහ විශ්වාසවන්තම කෙනකුගේ ආධාරය ඇතිව  දරුවා කියන කරන දේ පිළිබඳ විමසිල්ලෙන් සිටීම වැදගත් වේ. එමඟින් දරුවා ආශ්‍රය කරන පුද්ගලයන්, දරුවා කරන්නේ කුමන ආකාරයේ දේවල්ද යන්න එම සමීප පුද්ගලයන් මඟින් ඔබට දැනගත හැකිය.

එසේම මවුපියන් විසින් තමා දන්න හඳුනන යහපත් සම වයසෙහි පසුවන දරුවන් තම දියණියට ආශ්‍රය කිරීමට මුණගැස්විය යුතුය. තවද අපගේ සංස්කෘතිය තුළ මවුපියන් දරුවන් හට මෙම වයසේ මුහුණ දෙන ගැටලු පිළිබඳ  කියා දීමට මැළිකමක් දක්වති. වැරදි චර්යාවන්, ඇබ්බැහිවීම්, ලිංගිකත්වය පිළිබඳ දරුවන් දැනුවත් කරන්නේ නැත. එම නිසා මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් වශයෙන් දරුවා මුහුණ දෙන ගැටලු පිළිබඳ නව යොවුන් වියේ දරුවා දැනුවත් කිරීම ඔවුන් සතු වගකීමකි. තවද දරුවා ඇසුරු කරන යහළුවන් සමඟ මවුපියන් මනා මිත්‍රත්වයක් පවත්වාගත යුතුය. ඔවුන් තම නිවෙසට ආරාධනා කිරීම, නිවෙසට පැමිණීමට ඉඩ ලබාදීම ආදිය සිදුකිරීම මඟින් දියණිය ඇසුරු කරන යහළුවන් කුමන ආකාරයේ අයද යන්න සොයා බැලීමට හැකිය. පසුව එය නොගැළපෙන ඇසුරක්නම් ඇයට එය තේරුම් කරදී එයින් දුරස් කිරීම මවුපියන්ට පහසු වේ.

සචිනි බස්නායක

කේ. ඩී. නතාලියා

ප්‍රනාන්දු

මනෝ විද්‍යාව

පිළිබඳ කථිකාචාර්ය

දර්ශන අධ්‍යනය අංශය

කැලණිය

විශ්වවිද්‍යාලය